වම් අත හුරු අය ගැන පුදුම හිතෙන කරුණු ටිකක්
12,326 Views
1. මුළු ජනගහනයෙන් 12%ක් පමණ වමත හුරු අයයි. ආසන්න වශයෙන් ලෝකයේ මුළු ජනගහනයෙන් 12%ක් වමත හුරු අයයි. 87%ක් දකුණත හුරු අය වන අතර 1%ක් දෑතම එක විදිහට හුරු අයයි. (Ambidextrous) කොහොම වුනත් වමත්කරුවන්ගේ මේ ප්‍රතිශතය කෙමෙන් ඉහළ යමින් පවතිනවා.ඒකට හේතුව තමයි ඔවුන්ව සමාජයෙන් පිළිගන්නා තත්වයට මේ වෙද්දි පත් වෙලා තිබීම.1860 වගේ අතීතයේදී නම් වමත් අය සමාජයෙන් කොන් වුනා. ඔවුන්ව සැලකුනේ යක්ෂයා සමග සන්ධානගත වූ අය හැටියටයි.ඒ නිසා එකල වමත හුරු අය හිටියේ 2%ක් වගේ සුළු ප්‍රමාණයක්. මේ වෙද්දි ඒක 12%ක් වෙලා තිබුනත් ඇතැම් රටවල අම්මලා තවමත් වමතට හුරු වෙන තමන්ගේ දරුවන්ට බලෙන් දකුණත හුරු කරවන්න මහන්සි වෙනවා කිව්වොත් ඔබට පුදුම හිතේවි.
2. වමත්කරුවන්ට ආසාත්මිකතා (Allergies) ඇතිවීමේ සම්භාවිතාවය ඉහළයි.සමීක්ෂණයකින් හෙලි වන පරිදි වමත්කරුවන්ට දකුණත හුරු අයට වඩා 11 ගුණයකින් ආසාත්මිකතා ඇතිවීමේ සම්භාවිතාවයක් තිබෙනවා. ඒ වගේම වමත හුරු අයට ,දකුණත්කරුවන්ට වඩා 2 1/2 ගුණයකින් රූමැටොයිඩ් ආතරයිටීස් වගේ ස්වභාවික ප්‍රතිශක්තියට බලපාන රෝග වැළදීමේ අවධානමක් තිබෙනවා.
3. ඉරුවාරදය ඇතිවීමේ සම්භාවිතාවය ඉහළයි.ඉරුවාරදය ,එහෙම නැත්නම් මිග්රේන්/මයිග්රේන්(migraine) ලෙස හඳුන්වන රෝගය වැළදීමේ සම්භාවිතාවය වමත් අයගේ දකුණත් අයට වඩා දෙගුණයකින් ඉහළයි.
4. වමත් අයට නිදාගැනීමට අපහසුතා/ප්‍රශ්න ඇතිවෙනවා (Sleep deprivation) –Periodic Limb Movement Disorder එහෙම නැත්නම් PLMD කියන්නේ නිදාගෙන සිටියදී නොදැනුවත්වම අත පය එහා මෙහා විසි කරන තත්වයකට. 2011 දී සමීක්ෂණයක් සිදුකලා වමත් හා දකුණත් අය අතර මේ PLMD තත්වයට අදාළව. එහිදී ඔප්පු වුනා දකුණත හුරු අයගෙන් 69%කටත්, වමත් හුරු අයගෙන් 94%කටත් මේ තත්වය තියෙනවා කියලා. නිකන් හිතන්න! 94%ක්! ඔබට වමට හුරු මිතුරෙක් සහකරුවෙක් හෝ සහෝදරයෙක් ඉන්නවා නම්,ඔවුන් නිතර නින්දේදී අත් කකුල් ඔබේ ඇඟ උඩින් දමනවා නම්,ඔබ දැන් දන්නවා එයට හේතුව!
5. වමත හුරු අය වැඩියෙන් භාවිතා කරන්නේ මොළයේ දකුණු පැත්තයි.අපේ සිරුරේ වම් පැත්ත පාලනය වෙන්නේ මොළයේ දකුණු ප්‍රදේශයෙන්. සිරුරේ දකුණු පැත්ත පාලනය වෙන්නේ මොළයේ වම් පැත්තෙන්. ඒ විදියට බැලුවම වමත හුරු අයට වැඩියෙන් හොඳ ක්‍රියාකාරිත්වයක් තියෙන්නෙ මොළයේ දකුණු පැත්තෙන්. මොළයේ දකුණු ප්‍රදේශයෙන් තමයි කලාත්මක දේවල් පාලනය කරන්නේ. ඒ නිසා වමත හුරු අය කලාවට බරයි කියලයි කියන්නේ. නමුත් 2018 දී වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ කරන ලද සමීක්ෂණයකින් නම් කියැවුනේ තවමත් ඒ ගැන තීරණයකට එළඹෙන්න තරම් සාක්ෂි මදි කියලයි.ඔවුන් කියන විදිහට මොළයේ දකුණු හා වම් පැති සමග සිරුරේ ඇති සම්බන්ධය මීට වඩා අධ්‍යනය කරන්න ඕන.
6. වමත හුරු අය මතට හුරු වන අයයි.මනෝවිද්‍යාඥයෙකු වූ පෝල් බාකන් 1973දී පත්තරේ පල කල විදිහට, බේබදුකම නිසා රෝහල්ගත් කල රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් වමත හුරු අයයි. නමුත් වෛද්‍ය කෙවින් ඩෙනී විසින් 2011දී විවිධ රටවල් 12කින් සොයාගත් මිනිසුන් 25000ක් යොදාගෙන කල සමීක්ෂණයකට අනූව වමත හුරු අය බේබද්දන් කියන මතයේ සත්‍යතාවක් නැහැ.ඔහු කියන විදියට දකුණත හුරු අයට වඩා වමත්කරුවන් සීමාවක් ඇතුව මධ්‍යසාර භාවිතා කරන අය.
7. වමත්කරුවන්ගේ බුද්ධි මට්ටම වැඩියි.මේ කරුණ නම් කාලයෙන් කාලයට කරන පරීක්ෂණත් එක්ක වෙනස් වෙනවා.2007 කල පරීක්ෂණයකදී හෙලි වුනේ වමත හුරු අයට ඉහළ IQ අගයක් තියෙනවා කියලා වුනත් 2010 කල තවත් සමීක්ෂණයකින් හෙලි වුනේ ඒකෙ තනිකරම අනිත් පැත්ත! මේ ප්රශ්නය විසඳන්න ග්‍රීසියේ ඇතැන්ස් නුවර විශ්ව විද්යලයකින් විශාල මිනිසුන් නියැදියක් ගෙන 2018දී කල පරීක්ෂණයකදී හෙලි වුනේ දකුණත හුරු අයගේ IQ අගය වැඩියි කියා. හැබැයි ඒ ඉතාම සුළු වශයෙන්. වමත හුරු අයගේ සාමාන්‍ය IQ අගය 100ක් වෙද්දී දකුණත හුරු අයගේ සාමාන්‍ය IQ අගය 101.5ක් වුනා. මේක නොසලකා හැරිය හැකි තරම් කුඩා අගයක් නිසා, වමත් දකුණත් බේදයක් බුද්ධි මට්ටම සම්බන්ධව නැතැයි ඔවුන් තීරනය කලා.
8. වමත්කරුවන් වැඩිවියට එළඹෙන්නේ දකුණත හුරු කෙනෙක්ට වඩා මාස 4-5ක් ප්‍රමාද වෙලායි.මේ කරුණට නම් ඇත්ත නැත්ත ඔප්පු කරන්න තරම් ලොකු සාක්ෂි නැහැ. මේක තවමත් මතයක් පමණයි.
9. වමත හුරු අයට භාෂාමය ගැටළු වැඩියි.1993 දී නෝර්වේ හි සිදුකල සමීක්ෂණයට අනූව ඩිස්ලෙක්සියා රෝගය හා වමත්භාවය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. Dyslexia කියන්නේ කියවීම සහ වචන අකුරු සංකේත හඳුනා ගැනීමේ අපහසුතාවයකට අදාල රෝගයක්.
10. පිරිමි පුද්ගලයෙක් වීමේ සම්භාවිතාවය වැඩියි.මේ සමීක්ෂණය සිදු කරලා තියෙන්නේ මිලියන 2ක් පමණ මිනිසුන් එකතු කරගෙනයි. ඒකට අනූව කාන්තාවන්ට වඩා වමත් අයගෙන් 23%ක් පිරිමි අය වැඩියි. ඒ නිසා මේ මතය සත්‍ය ලෙස පිලිගන්නවා.
11. එකවර වැඩ කිහිපයක් කිරීමට සමත්.මේකට අදාලව සිදුකල සමීක්ෂණයට අනූව දකුණත් පුද්ගලයන් ප්‍රශ්නයක් කොටස් වලට බෙදාගෙන එකින් එක විසඳන්න උත්සාහ කරද්දී, වමත් පුද්ගලයන් ප්රශ්නය දෙස එකක් ලෙස බලමින් ,රටා ගලපමින් එය විසඳන්න උත්සාහ කර තිබෙනවා.මේ හේතුව නිසා ඔවුන්ට වැඩ කිහිපයක් එකවර ඉක්මනින් කිරීමේ හැකියාව තිබුනා.
12. දකුණත් අයට වඩා ආසන්නව වසර 9ක් පමණ අඩුවෙනුයි වමත් අය ජීවත් වෙන්නේ.දැන් වමත හුරු අය කලබල වෙන්න එපා.මොකද මේක පසුකාලීනව බොරු මතයක් කියලා ඔප්පු වුනා. ඒ මතයට හේතු වුනේ එකල සිදුකල පරීක්ෂණයකදී දකුණත හුරු අයගෙ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 75ක් වෙද්දි වමත හුරු අයගේ ආයුකාලය අවුරුදු 66ක් වීමයි. නමුත් ඒ කාලයේ බොහෝ දෙමව්පියන් වමත හුරු වන තම දරුවන්ට බලෙන් දකුණත හුරු කරවන නිසා මේ සමීක්ෂණයේ ප්‍රතිඵල පිළිගත නොහැකි බව පසුව ඔප්පු වුනා. නමුත් දකුණත හුරු අයට වඩා වමත හුරු අය සුළු අනතුරු වලට මුහුණ දෙන බවටත් සාක්ෂි තියෙනවා.
13. අඝාත තත්වයන්ගෙන් ඉක්මනින් සුවය ලබනවා.අඝාතය එහෙම නැත්නම් පැරලයිස් වීම හෝ පැත්තක් පන නැති වීමකදී කතා කිරීම අපහසු වෙනවා. නමුත් මේ තත්ත්වයට මුහුණ දෙන අයගෙන් වමත් පුද්ගලයන් ඒ තත්වයෙන් ඉක්මනින් සුවය ලබනවා. ඒකට හේතුව තමයි අපගේ භාෂා සහ කතන හැකියාව පාලනය වෙන්නේ මොළයේ වම් පැත්තෙන් වීම. දකුණත හුරු අයගේ සිරුර පාලනය වෙන්නේ මොළයේ වම් පැත්තෙන් කියලා අපි කලින් කිව්වා මතක ඇතිනේ.අඝාත තත්වයකදී මේ නිසා දකුණත හුරු අයට වඩා වමත හුරු අයට ඉක්මනින් සුවය ලබන්න පුලුවන්.
මේ අපි කිව්වේ වමත හුරු අය ගැන තියෙන ප්‍රසිද්ධ මත සහ ඒවායෙ සත්‍ය අසත්‍ය බව. ඔයාලත් ඔයාලට හිතවත් වමත හුරු අයගෙ මේ ලක්ෂණ තියෙනවාද බලන්න.ඒ වගේම මෙතන නැති තව ලක්ෂණ ගොඩාක් තියෙනවා. ඔයාල දන්න ඒවගේ දේවල් තියෙනවා නම් අපිත් එක්ක බෙදාගන්න.
(උපුටාගැනීම lankaonline)