පින්වන්ත දරුවෙකුගේ උපතක් ලබාගන්න විදිය
3,965 Views
පින්වන්ත දරුවෙකු පිළිසිඳ ගැනීම පිණිස මවත් පියත් අනුගමනය කළ යුතු ආර්ය චාරිත්‍ර පේවිම් මෙසේ ය. දෙදෙනා ම උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් (පැය 24 පුරාවට පූර්ණ උතුම් උපෝසථයක් ලෙස) සතියක් පුරාවට අෂ්ඨාංග උපෝසථ සිල් සමාදන් වී පිරිසිදුව ගෞරවයෙන් ආරක්ෂා කළ යුතුය. එම සතිය පුරාවට දිනකට දෙවරක් ( උදේ – සවස ) මල්, පහන් ආලෝක, සුවඳ දුම්, ගිලන්පස, පූජාකර තෙරුවන් වන්දනා කළ යුතුය. පිරිත් ධර්මයන් සජ්ජායනා කළ යුතුය. ( තුන් සූත්‍රය, ධජග්ග පිරිත, මහාසමය සූත්‍රය, දම්සක් පැවතුම් සූත්‍රය ආදිය…) වන්දනාව අවසානයේ බ්‍රහ්මරාජයන්ට, සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝ වාසී දෙවියන්ට රැස්කළ පින් අනුමෝදන් කළ යුතුය. (වෙනත් ඉල්ලීම් කිසිවක් නොකළ යුතුය.)
එම සතිය පුරාවට බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය ඇතුළත් පොත්පත් කියවමින් ඒවා තේරුම් ගනිමින් ගතකළ යුතුය. දවසේ හැකි සෑම විට ම බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව ආදී භාවනා පුරුදු කළ යුතුය. මහා සඟරුවන උදෙසා දන්පැන් පූජා කළ යුතුය. මෙලෙස සතියක් පුරාවට උතුම් පුණ්‍ය ධර්මයන් රැස්කොට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑ රදුන් වැඩ සිටින අනුරාධපුර පින් බිම වන්දනා කිරීමට යා යුතුය.
ජය ශ්‍රී මහා බෝ සමිඳුන් තුන් වරක් දක්ෂිණාවර්තව පැදකුණු කළ යුතුය. මල්, පහන් ආලෝක, සුවඳ දුම්, ගිලන්පස පූජාකර තෙරුවන් වන්දනා කළ යුතුය. පිරිත් ධර්මයන් සජ්ජායනා කළ යුතුය. වන්දනාව අවසානයේ බ්‍රහ්ම රාජයන්ට, සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝ වාසී දෙවියන්ට රැස්කළ පින් අනුමෝදම් කළ යුතුය. ස්වර්ණමාලි මහා ස්ථූපය අභියසට පැමිණ, අවිද්‍යා අන්ධකාරය දුරුකොට ප්‍රඥාලෝකයෙන් තුන් ලොවම එළිය කළ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු ප්‍රඥාලෝකයට උපහාර පිණිස යැයි සිතා සුවඳ දුම් දල්වන්න. සතළිස් පස් වසරක් පුරා ගතකළ පරම නිර්මල සම්බුදු දිවියට උපහාර පිණිස යැයි සිතා පිවිතුරු සුවඳ මල් පූජා කරන්න. ඉන් පසු මිහිරට සැදැහැයෙන් හඬනගා තෙරුවන් ගුණ සජ්ජායනා කරමින් මහා සෑය තුන් වතාවක් දක්ෂිණා වර්තව පැදකුණු කරන්න. එසේ කිරීමෙන් පසු පේසා වළලු මත නළල තබා උතුම් බුද්ධ රත්නයටත්, ධම්ම රත්නයටත්, සංඝ රත්නයටත්, මහ සෑ රජාණන් වහන්සේටත් මාගේ ජීවිතය පූජාකරමි… පූජා වේවා! යි සිතා ජීවිතය පූජා කරන්න. උදෑසන කාලයක දී නම් කිරිපිඬු පූජා කරන්න. සවස් කාලයකදී නම් ගිලන්පස පූජා කරන්න. සෑ මළුවේ ම මහ සෑය හොඳින් පෙනෙනා තැනක අසුන් ගන්න. මිහිරට සැදැහැයෙන් තෙරුවන් වන්දනා කොට ගාථා කියමින් මල්, පහන්, සුවඳ දුම් ආදී පූජාවන් පූජා කරන්න. පසුව මෙසේ දේවතා ආරාධනය සිදු කරන්න.
සමන්තා චක්ක වාලේසූ – අත්රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස – සුණන්තු සග්ග මොක්ඛදං පරිත්තස්සවණ කාලෝ – අයං භදන්තා පරිත්තස්සවණ කාලෝ – අයං භදන්තා පරිත්තධම්මස්සවණ කාලෝ – අයං භදන්තා
හාත්පස සක්වළ සිටින සදහම් අසනු කැමති දෙවියෝ සැදැහැ සිත් උපදවාගෙන අප මුනිරජුන් වදහළ මිහිරි සඳහම් ඇසුමට දැන් මෙතැනට පැමිණෙත්වා! පින්වත් දෙවිවරුනේ මේ එයට කාලයයි! ඉන් අනතුරුව දම්සක් පැවතුම් සූත්‍රයත්, රතන සූත්‍රයත්, කරණීයමෙත්ත සූත්‍රයත් සජ්ජායනා කරන්න. ඉන්පසු දෙනෙත් පියාගෙන ටික වෙලාවක් බුදුගුණ භාවනාවත්, මෛත්‍රී භාවනාවත් සිදු කරන්න. ඉන්පසු සතියක් පුරාවට රැස්කළ සියලු පුණ්‍ය ධර්මයන් වචනයෙන් පවසා ඝටීකාර බ්‍රහ්ම රාජයා, සහම්පති බ්‍රහ්ම රාජය, සනංකුමාර බ්‍රහ්ම රාජයා ආදී බ්‍රහ්ම රාජයන්ට පින් අනුමෝදන් කරන්න. රැස්කළ පින් සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝවාසී දෙවියන්ටත් අනුමෝදන් කළ යුතුය. එමෙන්ම ශාසන භාරධාරී විශ්ණු දෙවිඳුන්ටත්, සුමන සමන් දෙවිඳුන්ටත්, ස්වර්ණමාලි දෙවඟනටත් පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන් දුටුගැමුණු දිව්‍ය රාජයාට පින් අනුමෝදන් කරන්න. භූමාටු දෙවිවරුන්ගේ පටන් සදෙව් ලෝවාසී සියලු දෙවිවරුන්ටත් බ්‍රහ්මකායික සියලු දෙවියන්ටත් පොදුවේ පින් අනුමෝදන් කරන්න.
ඉන්පසු ආයුෂ අවසන් වී මනුලොව වඩින්නට සිටිනා පින්වත් දිව්‍යරාජයෙකුට හෝ බ්‍රහ්මරාජයෙකුට පින්වත් දරුවෙකු බලාපොරොත්තු වන මෑණියන් විසින් තම කුසේ පිළිසිඳ ගන්නට මෙලෙසින් ආරාධනා කරන්න. ” සුගති ලොවක් වූ මිනිස්ලොව ඉපදීමට බලා සිටිනා දිව්යාරාජයිනි, බ්‍රහ්මරාජයිනි මිනිස් ලොව ඉපදී උතුම්ම ලාභය වූ තිසරණ සහිත ශ්‍රද්ධා ලාභය ලැබීම පිණිසත්, බුදුසසුන සුරැකීම පිණිසත්, ලංකාදීපය ආරක්ෂා කර සිංහල ජාතිය ආරක්ෂා කිරීමටත්, රට දැය සසුන බොහෝ කල් සුවසේ පැවැත්ම පිණිසත් ඔබ වහන්සේලාගෙන් කවුරු හෝ තෙරුවන් කෙරෙහි පැහැදුන සිත් ඇති සීලවන්ත මාගේ කුස පිළිසිඳ ගනු මැනවි. අපි දෙදෙනාම මහත් වූ සෙනෙහසින් ඔබ රැකබලා ගන්නෙමු. අප කෙරෙහි අනුකම්පාවෙන් මාගේ කුස පිළිසිඳ ගන්නා සේක්වා! මෙසේ දෙවනුව ද තෙවනුව ද ආරාධනා කොට සිටින්න. මෙසේ කරනා විට ඒකාන්තයෙන්ම පින්වන්තයෙකු ඔබගේ මව්කුසට, ඔබගේ පවුලට වඩිනු ඇත. මෙසේ ශාසනික ප්රතිපත්තීන්හි පිහිටීමෙන් පින්වන්ත දරුවෙකු කුස තුළ පිළිසිඳ ගත්පසු කටයුතු කළ යුත්තේ මේ අයුරිනි.
දරු සම්පත පිළිසිඳ ගත් පසු සිදුකළ යුතු ආර්ය චාරිත්‍ර
මව්කුසේ දරු සම්පතක් පිළිසිඳ ගත්තේ ය යන දැනීම පහළ වූ සැණින් මව්පිය දෙදෙනා තෙරුවන් වන්දනා කොට දරුවාව තෙරුවනට පූජා කළ යුතුය.
හැකි නම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑ රජුන් වැඩ සිටින අනුරාධපුර පින්බිම වන්දනා කිරීමට ගොස් පෙර සේම මල්, පහන් ආලෝක, සුවඳ දුම්, ගිලන්පස පූජාකර තෙරුවන් වන්දනා කළ යුතුය. පිරිත් ධර්මයන් සජ්ජායනා කළ යුතුය. දරුවාගේ ජීවිතය නැවත වරක් තෙරුවනට පූජා කළ යුතුය. ඉන්පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්, ස්වර්ණමාලි මහා සෑ රදුන්ටත් දරුවාගේ ජීවිතය පූජා කළ යුතුය. වන්දනාව අවසානයේ බ්‍රහ්මරාජයන්ට, සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝ වාසී දෙවියන්ට රැස්කළ පින් අනුමෝදන් කළ යුතුය.( මේ ආකාරයටම දරුවා මෙලොවට බිහි වූ පසුවත් සිදු කරන්න.)
ඉන්පසුව මහත් ඕනෑකමකින් දරු ගැබ ආරක්ෂා කරගනිමින් දිනපතා පන්සිල් රකිමින්, පුන් පොහෝ දින වලට අෂ්ඨාංග උපෝසථ සිල් සමාදන් වී පිරිසිදුව ගෞරවයෙන් ආරක්ෂා කරන්න. හැකි සෑම විටම සඟරුවනට දන්පැන් පුදන්න. උතුම් තෙරුවන් ගුණ හොඳින් ඉගෙන ගනිමින් ශ්‍රද්ධාව ඇති කර ගන්න. ඒ තෙරුවන් ගුණ හොඳින් මතකයේ දරාගෙන හැකි සෑම විටම ඒ තෙරුවන් ගුණ සිහිකරමින් උපන් ශ්‍රද්ධාව දියුණු කර ගන්න. තෙරුවන් ගුණ සඳහන් වන උතුම් දහම් පොත් කියවමින් ධර්මය සිහිකරන්න. මෛත්‍රී භාවනාව නිතර වඩන්න. උදේ සවස තෙරුවන් වන්දනා කරමින් සැදැහැසිතින් සෙත් පිරිත් සජ්ජායනා. කරන්න. දරුවා බිහිවීමට කාලය ළඟාවන විට සංඝරත්නය බැහැදැක වන්දනා කොට උතුම් අංගුලිමාල පිරිතෙන් ආශිර්වාද ලබගන්න. තුණුරුවනේ ගුණ සිහිකරමින් පිරිත් පැන් පානය කොට මව්කුසේ පැන් තවරා ගන්න.
ජාතිය රන් විමනක් වේ – ආගම මිණි පහනක් වේ… එය රැකගන්නට මෙලොවේ – සමත් වෙතොත් පුත නුඹ වේ…
මෙසේ ආර්ය පිළිවෙත් පිරීමෙන් පින්වන්ත දරු උපතක් සිදු වේ. දෙමාපියන්ට කරදරයක් නොවී සමාජයට බරක් නොවී ලොකු මහත් වී ඔහු පැමිණි කටයුත්ත නිර්භීතව සිදුකරනු ඇත. ඔහු උපන් පවුල දිනෙන් දින ධන ධාන්‍යයෙන් දියුණු වේ. මෙවන් පින්වන්තයින් දහ පහළොස් දෙනෙකු පවුලක සිටිය ද මව්පියන් දෙදෙනාට සවියක් මිස බරක් නොවේ. ඔහුගේ සහෝදර සහෝදරියන්ට ශක්තියක්, ආඩම්බරයක්, ගෞරවයක් වේ. ඔහු අපගේ අවිහිංසාවාදී කෘෂිකර්මාන්තය දියුණු කරනු ඇත. ගෘහ නිර්මාණ ශිල්පය දියුණු කරනු ඇත. වාරි කර්මාන්තය දියුණු කරනු ඇත. වියළී ගිය රට සශ්‍රීක කරනු ඇත. සංඝරත්නය නො සිඳී පවතින්නට කල්‍යාණ වැටක් ඉදිකරනු ඇත. නිරෝගී ජනතාවක් වෙනුවෙන් ආරෝග්‍යශාලා ඉදිකරනු ඇත. සුවසේ ගමන් බිමන් යාමට මංමාවත් ඉදිකරනු ඇත.
උපුටා ගැනීම :- “ගෞතම සසුනේ පිහිට ලබන මනුලොව උපදින පුණ්‍යවන්තයෝ..” ග්‍රන්ථයෙන් /