කුස තුළ නිවුන් දරුවන් පිළිසිඳගෙන ඇත් නම්, මේ ලක්ෂණ ඇතිවෙනවා
1,849 Views
අතීතය සමඟ සන්සන්දනය කර බලන විට වර්තමානය වනවිට මෙම දරුවන්ගේ ප්‍රතිශතය බහුල වෙමින් පවතිනවා. ඒ නිසා මෙය ඉතා වැදගත් මාතෘකාවක් වශයෙන් සැලකිය හැකියි.
නිවුන් දරුවන් යම් වර්ග කිරීමක් කළ හැකිද?
අතීතයට වඩා මේ වනවිට නිවුන් දරුවන්ගේ ප්‍රතිශතය වැඩි වීමට විවිධ හේතු තිබෙනවා. ඒ අතුරින් විශේෂයෙන් කාන්තාවන් අධ්‍යාපනයට එසේත් නැත්නම් වෙනත් රැකියා අංශවලට යොමු වීම නිසා ගර්භණීභාවයට පත්වන වයස තරමක් වැඩි වී තිබෙනවා. ඒ හේතුව නිසා නිවුන් දරුවන් ලැබීමේ ප්‍රවණතාව ද තරමක් දුරට වර්ධනය වී තිබෙනවා. තවද අතීතය සමඟ සන්සන්දනාත්මකව විමසා බැලීමේදී මඳසරු භාවය සඳහා ද මේ වනවිට පිළියම් සොයාගෙන තිබීමත් මෙවැනි නිවුන් දරු උපත් සඳහා බලපාන තවත් හේතුවක්. ඒවගේම නළ දරු උපත් ප්‍රමාණය ද මේ සඳහා බලපාන තත්ත්වයකි. ඉහත කුමන හෝ හේතුවක් නිසා උපදින නිවුන් දරුවන් විවිධ ආකාරයට වර්ග කිරීමේ හැකියාවක් ද පවතිනවා.
නිවුන් දරුවන් ඇතිවන ආකාරය පිළිබඳ පැහැදිලි කළොත්?
මේ පිළිබඳ පැහැදිලි කිරීමේදී දරුවෙකු පිළිසිඳ ගැනීමේ කාර්යාවලියේ මූලාරම්භය පිළිබඳ කථාබහ කළ යුතුයි. ඒ අනුව මූලික වශයෙන් ඩිම්බ කෝෂ මඟින් ඩිම්බයක් නිකුත් කරන අතර මෙවැනි තත්ත්වයකදී කුමන හෝ හේතුවක් නිසා ඩිම්බ දෙකක් එකවර නිකුත් වනු ලැබේ.
පසුව ඩිම්බ කෝෂවලින් පිටවන ඩිම්බ පැලෝපීය නාල හරහා ගමන් කරනු ලැබේ. ඒ වගේම ශුක්‍රාණු, ගර්භාෂය හරහා පැලෝපීය නාලය දිගේ පැමිණ ඩිම්බ සමඟ එකතු වෙනු ලැබේ. මෙහිදී බහුල ලෙස නිවුන් දරුවන් ඇතිවීම සිදුවන්නේ පෙර පැහැදිලි කළ ලෙස එක්වර ඩිම්බ දෙකක් පිටවීම මඟිනි. නමුත් ඇතැම් අවස්ථාවල පැලෝපීය නාලයක් තුළදී සාමාන්‍ය ආකාරයෙන් සංසේචිත ඩිම්බයක් ගර්භාෂය තුළ තැන්පත් වීම දක්වා ගමන් කරන අතරතුර දෙකට බෙදීම මඟින් ද නිවුන් දරුවන් ඇතිවිය හැකියි. ඒ වගේම ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් සංසේචනය වීමෙන් සෑදෙන යුක්තානුව පැලෝපීය නාලය දිගේ ගර්භාෂය දක්වා ගමන් කරන මාර්ගයේදී සෛල 2,4,8,16 ලෙස බෙදෙන අතර එකම යුක්තානුව සම්පූර්ණ සෛල බෝල දෙකක් වශයෙන් බෙදීමට ලක්වීම මඟින් ද නිවුන් දරුවන් බිහි විය හැකියි.
ඒ අනුව මූලික වශයෙන් එක්වර ඩිම්බ දෙකක් පිටවීම හෝ ගර්භාෂය තුළට කලලය කිදා බැසීමට පෙර පැලෝපීය නාලයේ සිට පැමිණෙන අවස්ථාවේදී බෙදීමට ලක්වීම නිසාද නිවුන් දරුවන් ඇතිවිය හැකියි. මීට අමතරව ගර්භාෂය තුළ යුක්තානුවක් තැන්පත් වූ පසුවත් ඩිම්බය බෙදීමට ලක්විය හැකියි. නමුත් එවිට වැදෑමහ නිර්මාණය වී අවසන් අතර කලල දෙක වතුර බෑග් දෙකක පිහිටිය හැකියි. මෙම කලලය, සංසේචනය වී දවස් 4 -8 ත් අතර සිදුවන්නකි.
සාමාන්‍යයෙන් වැදෑමහ දෙකක් සහිත ඒ වගේම වතුර බෑග් දෙකක් සහිත නිවුන් දරුවන් හොඳම නිවුන් දරුවන් ලෙස හැඳින්විය හැකියි. නමුත් පෙර පැහැදිලි කළ ලෙස දින 4 – 8ත් අතර ඇතිවන නිවුන් දරුවන් එනම් එක් වැදෑමහක් සහ වතුර බෑග් දෙකකින් යුතු අයගේ ගැටලු රාශියක් ඇතිවිය හැකි අතර වාසනාවට මෙන් එවන් දරු උපත් එතරම් සුලබ නොවේ.
ඒ වගේම සංසේචනය වී 8 -13 අතර දින ගණනකදී කලලය දෙකට බෙදුනොත් එවිට වතුර බෑගය සහ වැදෑමහ යන දෙකම වර්ධනය වී අවසන් නිසා පෙකෙණිවැල් පැටලීම, වර්ධනය අඩුවීම වැනි සංකූලතා සහිත දරුවන් ඇතිවිය හැකියි. ඒ වගේම දින 13 ට පසුව ඇති වුණොත් වැදෑමහ, වතුර බෑගය පමණක් නොවේ දරුවාත් ඇති වී අවසන් නිසා එවිට කලලය දෙකට බෙදීමෙන් බද්ධ නිවුන් දරුවන් හටගත හැකියි. නමුත් වාසනාවට එවැනි නිවුන් දරු උපත් ඇති වන්නේ ඉතාමත් කලාතුරකිනි. එසේ වුවත් මේ සෑම තත්ත්වයක්ම අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයක් මඟින් විමසා බැලිය හැකි වේ.
කාන්තාවට ඩිම්බ දෙකක් එකවර පිටවීම අසාමාන්‍ය තත්ත්වයක් ද?
සාමාන්‍යයෙන් කාන්තාවකගෙන් වරකට එක් ඩිම්බයක් පමණක් නිකුත් වූවත් කලාතුරකින් ඩිම්බ දෙකක් එකවර පිටවිය හැකියි. නමුත් එයද සාමාන්‍ය ස්වභාවිකව සිදුවීමක් වන අතර මේ සඳහා වයස් භේදයක් ද නොමැත. එය එතරම් සුලබ නොවනවා වගේම ඇතැම්විට එක් පසෙක ඇති ඩිම්බ කෝෂයකින් මෙන්ම දෙපස ඇති ඩිම්බ කෝෂ දෙකෙන්ම ද මේ ආකාරයට ඩිම්බ දෙකක් පිටවිය හැකියි. ඒ වගේම වයස 35න් පසුව ශරීරයේ සිදුවන හොර්මෝනවල ඇතිවන වෙනස්කම් නිසා ඩිම්බ උත්තේජනය මඟින් මොළයට සිදුවන බලපෑම නිසාත් එවැනි විටෙක ඩිම්බ කෝෂ මඟින් වැඩිපුර ඩිම්බයක් නිකුත් විය හැකියි. නමුත් ඊට අමතරව බහුල වශයෙන් මේ තත්ත්වය ඇති වන්නේ ඩිම්බ කෝෂ උත්තේජනය සඳහා ඖෂධ භාවිතා කරන අයටයි. මෙසේ ඖෂධ භාවිතා කරන්නේ බොහෝවිට මඳසරු භාවය ඇති කාන්තාවන්ටයි. මෙවැනි අයට ලබාදෙන ප්‍රතිකාර නිසා මෙසේ ඩිම්බ දෙකක් නැත්නම් කිහිපයක් වැඩිපුර නිකුත් විය හැකියි. ඒ වගේම ඉහත හේතූන් නොමැතිව වුවද (ස්වභාවිකව) ඩිම්බ දෙකක් පිටවීම සිදුවිය හැකියි. කෙසේ වෙතත් ඩිම්බ දෙකක් නිකුත් වීම යනු අනිවාර්යයෙන් නිවුන් දරුවන් ඇතිවන බවට පැවසිය හැකි දෙයක් නොවුණත් නිවුන් දරුවන් හට ගැනීමේ වැඩි ප්‍රවණතාවක් මෙමඟින් ඇතිවිය හැකි බව ඔබ මතක තබා ගත යුතුයි. නිවුන් දරුවන් යනු යම් රෝගී තත්ත්වයක් ද? ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ යම් නිර්ණායකයක් ලබාදිය හැකිද?
නිවුන් දරු ගැබයක් යනු ගර්භණීභාවයේදී ඇතිවන සෑම සංකූලතාවක්ම 5,6 ගුණයකින් වැඩිවන තත්ත්වයකි. නමුත් ඇතැම් කාන්තාවන් තමාට නිවුන් දරුවන් ඇති කර ගැනීමට අවශ්‍ය බවද වෛද්‍යවරුන්ට පවසන අවස්ථා ද ඕනෑ තරම්. නමුත් මෙය අවදානම් ගර්භණීභාවයක් වශයෙන් අපි විසින් හඳුන්වනු ලබනවා. ඒ නිසා මෙවැනි ගර්භණීභාවයකදී ඕනෑම ආකාරයේ සංකූලතාවන් ඇතිවිය හැකියි. සාමාන්‍යයෙන් එක් දරුවෙක් පමණක් ප්‍රසූත කරන මවුවරු 1000ක් අතරින් මෙවැනි නිවුන් දරුවන් සහිත මවකට ඇතිවිය හැකි සංකූලතා මවට වගේම දරුවාටත් 5, 6 ගුණයකින් බලපෑ හැකියි. මේ හේතු නිසාවෙන්ම එවැනි දරු උපතක් අධි අවදානම් දරු උපතක් වශයෙන් සැලකිය හැකියි.
ඇතැම් මව්වරු නිවුන් දරුවන් ලබා ගැනීමට දැඩි ආශාවකින් පසු වුණත් ඔවුන් මෙලොවට බිහි වී නැවත නිරෝගීව නිවසට රැගෙන යන මොහොත තෙක් යම් යම් අවදානම්වල පසුවන නිසා එවැනි දරු උපත් තරමක් අවදානම් සහිතයි.
වෛද්‍ය විද්‍යාව මඟින් තනි යුක්තානුව දෙකට බෙදීමෙන් නිවුන් දරුවන් ලබාදිය නොහැකිද?
නළ දරු උපත්වල එය සිදු කරනු ලැබේ. මෙහිදී මෙම සංසේචනය ක්‍රියාවලිය පිටතදී සිදු කරනු ලැබේ. මේ සඳහා උත්සාහයක් ගත් බටහිර රටවල කලල දෙකකට වඩා තැන්පත් නොකරනු ලබන්නේ ඒ හරහා මවගේ ජීවිතය අනතුරට පත්විය හැකි නිසයි. විද්‍යාත්මක සාධක මත දරුවන් දෙදෙනාට වඩා වැඩි වනවිට මවට සහ දරුවාට මුහුණ දීමට සිදුවන අවදානම් සහිත තත්ත්ව නිසා උපරිම දරුවන් එක් අයෙකුට නැත්නම් දෙදෙනෙකුට පමණක් සීමා කරගන්නා ලෙසය.
නිවුන් දරුවන් පිළිසිඳගෙන ඇති බව හඳුනා ගන්නේ කෙසේද?
පෙර සඳහන් කළ පරිදි නිවුන් දරුවන් වර්ග 5 පිළිබඳවම මුල්කාලීනව සිදු කරනු ලබන අල්ට්රා සවුන්ඩ් පරීක්ෂාව මඟින් විමසා බැලිය හැකි වේ. නමුත් වෛද්‍ය විද්‍යාත්මක සාධක අනුව ගර්භණීභාවයේ වයස පිළිබඳ දැනගත යුතුයි. කලලයේ දිග අනුව එහි වයස නිර්ණය කළ යුතුයි. ඒ වගේම දින නිර්ණය කිරීමේ ස්කෑන් පරීක්ෂණ ඕනෑම ගර්භණී කාන්තාවක් සති 10 – 14 අතර සිදු කර ගැනීම ඉතාම වැදගත් වේ. මෙය අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණය මඟින් සති 12 දී නිර්ණය කළ හැකියි. මෙහිදි නිවුන් දරුවන් පිහිටන ආකාරය නිවැරදිව දැකබලා ගත හැකියි.
ගර්භණීභාවය ප්‍රකාශ කළ යුත්තේ සති වශයෙනි. එය මාස වශයෙන් ප්‍රකාශ කළ නොහැක. මෙය සති සහ දවස් වශයෙන් ගණන් ගත යුතුයි. මේ පිළිබඳ පරීක්ෂා කිරීමට රසායනාගාර පරීක්ෂණ අත්‍යවශ්‍ය නොවන අතර එය සාමාන්‍ය සරල මුත්‍රා පරීක්ෂණයක් මඟින් නිවසේදී විමසා බැලිය හැකියි. අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණ කිසිසේත්ම මවට සහ දරුවාට බලපෑමක් ඇති නොකරන අතර මෙහිදී කිරණ භාවිතයක් නොමැති අතර ශබ්ද තරංග පමණක් භාවිතා වේ.
ලොව ඕනෑම තැනක දරුවෙකුගේ කලලයක මුල් කාලය ඇති සමානකම් ඉතාමත් වැඩියි. ඒවා අතර විවිධත්වය ඉතාම අඩුයි. ඒ නිසා මුල්කාලීනව සිදුවන අල්ට්රා සවුන් ස්කෑන් එකක් මඟින් දින ගණන අනුව නිවැරදිව කලලයේ වයස තීරණය කළ හැකියි. ඒ වගේම ඕනෑම ගර්භණී කාන්තාවක් මෙම පරීක්ෂණයට යොමුවීම හරහා එහි සංකූලතා තිබේ නම් එම සංකුලතා ප්‍රමාණය වළක්වා ගැනීමේ හැකියාවක් ලබාගත හැකියි. අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයේ නරක ප්‍රතිඵල කිසිවත් ඇති නොවන බව මතක තබා ගත යුතුයි. ඒ වගේම මේ මඟින් අනපේක්ෂිත මළ දරු උපත් වළක්වා ගත හැකියි. අනවශ්‍ය සිසේරියන් සැත්කම්, දරුවාගේ වයස අනුව වර්ධනයේ ඇතිවන ගැටලු නිවැරදිව හඳුනාගත හැකියි.
නිවුන් දරුවන් පිළිසිඳගත් මවකට මුල්කාලීනව ඇතිවන සංකූලතා පිළිබඳ පැහැදිලි කළොත්?
ගර්භණී කාලය කාර්තු 03කි. එහිදී මුල් සති 12 පළමු කාර්තුව සති 12 සිට 28 දක්වා දෙවැනි කාර්තුව ද සති 28 සිට දරුවා බිහිවීම දක්වා තුන්වැනි කාර්තුව ලෙසද හැඳින්විය හැකියි. මෙහිදී සති 12 දක්වා මුල් කාර්තුව තුළ ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්ව වන්නේ ගබ්සා වීම් ඇතිවීම, අධික වමනය, ශාරීරික වේදනාව, රුධිර වහනය වැනි සංකුලතායි. නමුත් අමතර ළදරු කලල ගබ්සා වීම මත ඉතිරි වන කලලවලට බොහෝදුරට ගැටලු ඇති නොවේ.
ඊට අමතරව දෙවැනි කාර්තුව තුළ දරුවා කලින් බිහිවීම ආදී ගැටලු, රුධිර පීඩනය, දියවැඩියාව වැනි සංකූලතා වැඩිවිය හැකියි. කලල යුගලයේ අසමතුලිතා නිසා කලලයේ වර්ධනයට බාධා ඇතිවිය හැකියි. තනි දරුවෙකු සිටිනවාට වඩා 5,6 ගුණයකින් මෙවැනි මවකට විශාල සංකූලතා ප්‍රමාණයට මුහුණ දිය හැකියි. ඒ වගේම ප්‍රසූතියෙන් පසුව ද රුධිර වහනය වැඩිවිය හැකියි.
නිවුන් දරුවන් සිටින මවක් ප්‍රවේසම් විය යුත්තේ කෙසේද?
නිවැරදි ලෙස සායන වෙත යොමුවිය යුතුයි. වෛද්‍යවරයා නියම කරන සෑම උපදෙසක්ම පිළිපැදිය යුතුයි. යකඩ පෙති ලබා ගැනීම ආදී පෝෂණ අවශ්‍යතාව නිවැරදිව සපුරා ගත යුතුයි. අනවශ්‍ය ආහාර භාවිතය නිසා දියවැඩියාව අනිවාර්යයෙන්ම ඔවුන්ට ඇතිවිය හැකියි.
මෙහිදී සමබර ආහාර වේලක් භාවිතය හා ඒ අතර තුර අමතර ආහාර ලබා ගැනීම වැදගත්. ඒ වගේම ස්කෑන් පරීක්ෂණවලට යොමුවීම ද ඉතා වැදගත් වේ. ඒ වගේම මෙවැනි අය ප්‍රධාන රෝහලකට දරු ප්‍රසුතියට යොමුවිය යුතුයි.
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)