අර්ශස් රෝගය නිට්ටාවට සුව කරගන්න හාතාවාරිය වලින් ඔසුවක්
5,583 Views
Asparagaceae උද්භිද කුලයට අයත් වන හාතාවාරිය ශාකය තරමක් අතු බෙදුනු කොළ පැහැති කඳක් පවතින පඳුරක් ලෙස වැඩෙන වැල් විශේෂයකි. එනම් හාතාවාරිය වැල් ශාකය මීටර් දෙකක් පමණ දිගින් යුතු ව වැඩෙන අතර අතු වල කටු පිහිටා තිබේ. දක්ෂිණාවර්තව කුඩා ගස් මත වැඩෙන හාතාවාරිය භූගත කඳක් සහිත ව දැකගත හැකි අතර එයින් ආකන්දීය මුල් හට ගනු ලබයි. මේවා ක්‍රමයෙන් වැඩෙත්ම අල පොකුරක් ලෙස දැක ගත හැකිය. බොහෝ දෙනෙකු මෙම ශාකය හාතාවාරිය කොළ ලෙස හැඳින්වුවද මෙහි කොළ හට නොගන්නා බව සඳහන්වේ.
එනම් මෙහි කොළ ලෙස හදුන්වනු ලබන්නේ අතු විකරණය වීමෙන් සෑදෙන ව්‍යුහයන් වන අතර ඒවා ස්කන්ධාභ ලෙස හඳුන්වනු ලැබේ. එනම් මෙහි පත්‍ර ශාක බවට පත්වී ක්ෂීණ වී ඇති අතර එක් ගැටයක් අසල ස්කන්ධ 2-6 පමණ සංඛ්‍යාවක් පොකුරු ලෙස හට ගෙන ඇති අයුරු දැක ගත හැකිය. මෙහි මල් සුදු පැහැති මල් වන අතර ඒකාක්ෂ පුෂ්ප මංජරියේ හටගනු ලබයි. ඵලය කොළ පැහැති ඵලයක් වන අතර එහි බීජ 1-3 පමණ ප්‍රමාණයක් පිහිටා තිබේ.
හාතාවාරිය බොහෝ විට යොදා ගනු ලබන්නේ කැඳ පිළියෙල කිරීම සඳහාය. ඊට අමතරව ආයුර්වේදය තුළ නොයෙක් රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහා හාතාවාරිය අල, පොතු, ආදීය බහුලව යොදාගනු ලැබේ.වර්තමානයේ කරන ලද පරීක්ෂණ වලට අනුව හාතාවාරිය කොළ වල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගුවන බව තහවුරු වී තිබේ. ඒ අතර යකඩ, සෝඩියම්, සින්ක්, මැග්නීසියම්, පොටෑසියම් ,කොපර්…ආදී පෝෂ්‍ය පදාර්ථවේ.
හාතාවාරියවල ඖෂධීය භාවිතය
අර්ශස් රෝගය සමනය කිරීමට
ප්‍රජනක පද්ධතියේ හටගනු ලබන රෝග සමනය කිරීමට
ආහාර මාර්ගය ආශ්රිත තුවාල සමනය කිරීමට
සෝම රෝගය සමනය කිරීමට
සන්ධි රෝගයන් සමනය කිරීමට
ස්නායු රෝග සමනයට
කුෂ්ට සුව කිරීමට
ශරීරය සිසිල් කිරීමට
උදරගත වේදනාවන්ට
මුත්‍ර රෝග සමනය කිරීමට
අක්ෂි රෝග සුව කිරීමට
ශුක්‍ර වර්ධනය කිරීමට
අතීසාරය සමනය කිරීමට.
මෙවැනි බොහෝ රෝග සමනය කිරීමට ඖෂධ ලෙස හාතාවාරිය කොළ, පොතු, අල ආයුර්වේදයේ බහුලව භාවිතා කරනු ලැබේ.
මව් කිරි වර්ධනය කිරීමට-බොහෝ දෙනෙකුට ප්‍රසූතියෙන් පසුව මවි කිරි එරීම අවමවේ. එවැනි අවස්ථාවක මව්කිරි වර්ධනය කිරීමට හාතාවාරිය ඖෂධය භාවිතා කළ හැකිය. එනම් ඒ සඳහා හාතාවාරිය අල ගෙන සෝදා පිට පොත්ත හා මැද නාරටිය ඉවත් කර කැබලි වලට කපා මදපවනේ වියලෙන්ට තබා කුඩු කර එක් වරකට තේ හැඳි එක බැගින් උදෑසන එළකිරි සමඟ පානය කිරීම මගින් මවි කිරි එරීම වැඩි කර ගත හැකිය.
අර්ශස් රෝගයට-බොහෝ දෙනෙකුට පවතින පීඩාකාරී රෝග තත්ත්වයක් වන අර්ශස් රෝගයට හාතාවාරිය මෝරු වලින් අඹරා පානය කිරීම
සුදුසුවේ.
අස්ථි බිදීම්, තැලීම්, උලුක්කු සුව කිරීමට-හදිසි අවස්ථාවක ඇතිවන අස්ථි බිදීම්, තැලීම් සුව කිරීමට හාතාවාරිය කොළ, සියඹලා කොළ, ඉරමුසු වැල්, අමු කහ සමඟ කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තැවීම මගින් සුවය සලසා ගත හැකිය.
ලේ පිටවන අර්ශස් රෝගය සමනය කිරීමට-අර්ශස් සමඟ ලේ පිටවීමේ රෝග තත්ත්වය සමනය කිරීම සඳහා ද ඖෂධයක් ලෙස හාතාවාරිය භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා හාතාවාරිය අල වලට එළකිරි සහ වතුර මිශ්‍ර කර කෂාය සකස් කර සීනී හෝ මී පැණි සමඟ පානය කිරීම ගුණදායකය.
මුත්‍රා අඩස්සිය සමනය කිරීමට-බොහෝ දෙනෙකුට පවතින මුත්‍ර පිට කිරීමට අපහසු වීම හෙවත් මුත්‍ර අඩස්සියටහාතාවාරිය අල සිහින්ව අඹරා ඇල් වතුරට දමාපානය කිරීම මගින් එම රෝග තත්ත්වයන් සමනය කර ගත හැකිය.
මුත්‍රා සමඟ ලේ පිටවීම සමනයට-යම් යම් අවස්ථාවන් වල ඇතිවන මුත්‍ර සමඟ ලේ පිටවීමේ රෝග තත්ත්වය සදහා ද හාතාවාරිය යනු ගුණ දෙන ඖෂධයකි. එනම් මේ සඳහා හාතාවාරිය අල,අමුකහ, ගොකටු කිරි දමා සකස් කර ගනු ලබන කෂාය භාවිතය ගුණදායකය.
රක්තාතීසාරය සමනයට-ඈත අතීතයේ සිටම රක්ත අතීසාරය නම් රෝගයට ඖෂධයක් ලෙස හාතාවාරිය භාවිතා කර තිබේ. එනම් මේ සඳහා හාතාවාරිය එළ කිරිවලින් අඹරා පානය කිරීම ගුණදායකය.
රාත්‍රී අන්ධභාවය සමනය කිරීමට-බොහෝ දෙනෙකුට පවතින රාත්‍රි අන්ධභාවයට
හාතාවාරිය කොළ ගිතෙලින් බැද ආහාරයට ගැනීම සුදුසුය.
මීට අමතරව හාතාවාරිය කොළ කැඳ සකස් කර නිතර පානය කිරීම මගින්
ඔසප් වේදනාව සමනය කර ගත හැකිය.
ස්ත්‍රින්ගේ ශ්වෙත ප්‍රදරය සමනය කර ගත හැකිය.
ශරීර දාහය සමනය කර ශරීරය සිසිල් කර ගත හැකිය.
හාතාවාරිය කැඳ සකස් කරන ආකාරය
සෝදා පිරිසිදු කර ගත් හාතාවාරිය කොළ දෙමිටක්
සෝදා පිරිසිදු කර ගත් කැකුළු සහල් මිටක්
සුදුලූනු ගෙඩියක්
පොල් කිරි ස්වල්පයක්
කැකුළු සහල් සාමාන්‍ය බතක් ලෙස පිසගන්න. හාතාවාරිය කොළ සියල්ල හොඳින් කොටාගෙන යුෂ වෙන් කරගන්න. පිසගත් බතට පොල් කිරි, සුදුලූනු, මිශ්‍ර කර විනාඩි දෙකකට පසු හාතාවාරිය යුෂ සහ රස පදමට ලුණු මිශ්‍ර කර උතුරන විට ලිපෙන් බා මදක් නිවුනු පසු හකුරු කැබැල්ලක් සමග පානය කරන්න.
මේ ආදී නොයෙක් රෝගයන්ට ගුණදෙන හාතාවාරිය කැඳ සැමට හිතකර වන අතර අත් බෙහෙත් භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.
(උපුටාගැනීමකි)