පිළිකා, දියවැඩියාව සුව කරන දේශීය වැල් අල
4,944 Views
ආනයනය කරන ලද අර්තාපල් පරිභෝජනයට හුරු වූ සමාජයක් තුළ මෙරට තුළම දක්නට ලැබෙන ඌණ භාවිතයේ පවතින දේශීය වැල් අල ප්‍රභේද පරිභෝජනයට සමාජය යොමුකළ හැකි නම් එය අගයකළ යුතු දෙයකි. මේ දේශීය වැල් අල වර්ග පිළිබඳව තබන කෙටි සටහනකි.ලොව පුරා විසිරුණු වැල් අල ප්‍රභේද දර්ශ 600ක් පමණ පවතින අතර ශ්‍රී ලංකාවේ ද ප්‍රභේද 200 ක් පමණ දැකිය හැකි අතර ශ්‍රී ලංකාවේ හදුනාගත හැකි ප්රභේදයන්, විශේෂ 7කට පමණ අයත් වෙයි.
Dioscoreae පවුලට අයත් Dioscorea ගණයේ ආහාරයට ගන්නා විශේෂ වැල් අල(Yams) ලෙස සාමාන්‍යයෙන් හඳුන්වයි.ශ්‍රී ලංකාවේ දී ප්‍රධාන ලෙසම දැකිය හැක්කේ “ඩයස්කෝරියා ආලාටා” හෙවත් මහා වැල් අල විශේෂය යි. මෙයට අයත් ප්‍රභේද 50කට අධික සංඛ්‍යාවක් මෙරට දී හඳුනාගෙන ඇති අතර ඉන් සමහරක් නම් රාජ අල, කිරි කොඩොල්, රටාල, හීන් ඇඟිලි අල, මහත ඇඟිලි අල, දන්දින, අඬ දන්දින, පැණි අල, ඇතු අල, ඉනි අල, කිරි අල, තඹල අල, රතු අල ආදිය වෙයි. මහා වැල් අල වර්ග පහසුවෙන් හඳුනාගත හැකි ලක්ෂණ කීපයක් ඇත. ප්‍රධාන ලෙසම ෆ්ලෙවොනොයිඩ වර්ණකයක් ලෙස ඇන්තොසයනින් අන්තර්ගතය. එනම් මේවායේ ලාක්ෂණික දම් පැහැයක් හඳුනාගත හැක.සාමාන්‍යයෙන් අල මාංශලය තුළ දම් පැහැය දිස් වුවත් සමහරක් විශේෂ වල දම් පැහැය පත්‍ර නාරටි වලට ආදිය සීමා වූ අවස්ථාද ඇත. එමෙන්ම මහා වැල් අල ප්‍රභේද වල එක් වැලක අල 1-3 අතර ප්‍රමාණයක් පිහිටයි (බොහෝවිට ප්‍රමාණයෙන් විශාල එක් අලයක් පමණක් පිහිටයි). එමෙන්ම අලයක හරස්කඩ කැපුමකදී රේඛා පැහැදිළිව හඳුනාගත හැකිය.
දෙවනුවට වැඩිම ප්‍රභේද ගණනක් දක්නට ලැබෙන්නේ කුඩා වැල් අල හෙවත් “ඩයස්කෝරියා එස්කයුලෙන්ටා” විශේෂය යි. මෙයට අයත් ප්‍රභේද කීපයක් නම් කුකුලල, කටුකුකුලල, දෙමස් ගහල, ජාවා අල, සීරුවල්ලි ආදිය යි. මේවාද පහසුවෙන් හඳුනාගත හැකි පොදු ලක්ෂණ කිහිපයකි. මේවායේ එකවර ප්‍රමාණයෙන් කුඩා අල 10- 15ක් පමණ හට ගනියි. මේ සෑම අලයකම නටුවක් සහ කටු පිහිටයි. මේවායේ කැටෙචින්, එපිකැටෙචින් සහ ක්ලෝරොජෙනික් අම්ලය ආදී බහු පීනෝලික සංයෝග බහුලව අන්තර්ගතය.තවත් විශේෂයක් නම් “ඩයස්කෝරියා බල්බිෆෙරා” ය. දිවයිනේ වගා කෙරෙන උඩල මෙයට අයත් ප්‍රභේදයකි. මේවායේ ශාකයේ බල්බිල පිහිටන අතර අල වල ආහාරට ගන්නා මාංශල කොටස කහ පැහැතිය. අල බොහෝවිට යුගල් ලෙස පිහිටන අතර 0.5 -1.2kg අතර ස්කන්ධයකින් යුක්තයි.
තවද වඩා දිගින් යුත් වැල් අල දරන විශේෂයක් නම් “ඩයස්කෝරියා පෙන්ටෆයිලා” ය. මෙරටදී හමුවන කටු අල නම් ප්‍රභේදය මෙයට අයත්ය.මේ ශාක විශේෂයේ පත්‍රිකා 5 කට බෙදුනු පත්‍ර දරන බව පෙන්ටෆයිලා යන්නෙන් හැඟවෙයි.”ඩයස්කෝරියා විලෝසා” නම් වැල් අල විශේෂය ද දේශියව දක්නට ලැබෙන්නකි. කොඩොල් අල උදාහරණයක් ලෙස දැක්විය හැකි අතර තරමක් මෘදු පත්‍ර දරයි. අල පිහිටන්නේ මුල් රාශියකින් යුක්තව තිරස්ව පැතිරුණු රයිසෝම ලෙස යි. වන දර්ශයක් ලෙස දිවයිනේ “ඩයස්කෝරියා ස්පිකාටා” විශේෂයක් වන ගෝනල නම් ප්‍රභේදය තරමක් දුලබ ව හමුවෙයි. ගෝන අඟක ස්වරූපයෙන් යුතුව ඉතා දිගින් යුතුව වැඩෙන වැල් අල ප්‍රභේදයකි.
70 දශකයේදී මෙරටට වගා අරමුණින් හඳුන්වා දුන් අල විශේෂයක් වන්නේ “ඩයස්කෝරියා රොටන්ඩාටා” ය. මෙහි හදුන්වා දුන් ප්‍රභේදය එෂුමා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රචලිතය. සිලින්ඩරාකාර විශාල අල දරන අතර සුදු පැහැති මාංශලයකින් යුක්තය. මේවාට අමතරව උයල නම් දේශිය ප්‍රභේදය “ඩයස්කෝරියා ටොමෙන්ටෝසා” විශේෂයටත් හිරිතල අල නම් ප්‍රභේදය “ඩයස්කෝරියා ඔපොසිටා” විශේෂයට ත් තවද දහයියා අල නම් ප්‍රභේදය “ඩයස්කෝරියා ට්රයිමනි” විශේෂයටත් අයත් ය.අනෙකුත් අල වර්ග වන අර්තාපල් සහ මඤ්ඤොක්කා ආදියට සාපේක්ෂව මේවා පෝෂණ ගුණයෙන් අනූන වන අතර බොහොමයක් සෞඛ්‍යමය ප්රතිලාභ අත්කර දෙයි. කාබෝහයිඩ්රේට් සුලබ සංඝටකයක් වන අතර ප්‍රෝටීන ප්‍රතිශතය අර්තාපල් , බතල, මඤ්ඤොක්කා ආදියට සාපේක්ෂව ඉහළ යි. මේද අන්තර්ගතය අවම ය.
කාබෝහයිඩ්රේට් ඉහළ ප්‍රතිශතයක් අඩංගු වන අතර මේවා තන්තු වලින් පොහොසත්ය. එබැවින් රුධිර ග්ලූකෝස් යාමනයටත් ( අඩු ග්ලයිසිමික් දර්ශකයක් සහිතය) අහිතකර LDL කෙලෙස්ටරෝල් මට්ටම පහත හෙලීමටත් හැකියාවක් පවතී.විශේෂයෙන්ම මහා වැල් අල විශේෂයට අයත් ප්‍රභේද තන්තු බහුලය. එමෙන්ම කුඩා වැල් අල විශේෂයට අයත් ප්‍රභේද වල කාබෝහයිඩ්රේට් ලෙස සාපේක්ෂව ඉහළ ඇමයිලෝස් අන්තර්ගතයක් ද පවතියි.ප්‍රෝටීන ලෙස අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල රැසක් අන්තර්ගතය. එයින් සමහරක් නම් ග්ලයිසීන්,සිස්ටීන්, මෙතියොනීන්, ඇලනීන්, ෆීනයිල් ඇලනීන්, ලියුසීන්, අයිසො ලියුසීන්, ලයිසීන්, ප්රොලීන්, ආර්ජිනීන් සහ හිස්ටිඩීන් ආදියයි. ඩයස්කෝරියා පවුලට අයත් විශේෂ සියල්ලගේම පාහේ අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන ප්‍රෝටීනයක් ලෙස ඩයස්කෝරීන් හැඳින්විය හැකි යි. මෙයට ඇන්ජියෝටෙන්සීන් පරිවර්තක එන්සයිමය නිශේධනය කිරීමේ හැකියාවක් පවතින බවත් ඒ නිසාවෙන් රුධිර පීඩනය පාලනයක් සිදුකරයි. එබැවින් අධිරුධිර පීඩනයක් සහිත රෝගීන් සඳහා හිතකර වෙයි.
වැල් අල ප්‍රභේද වල ඉතා අවම මේද ප්‍රමාණයක් අඩංගු වන අතර ස්ටියරික්, පාමටික්, ඔලෙයික් හා ලිනොලෙයික් මේද අම්ල ප්රමුඛ වෙයි. මින් සමහක් පිළිකා නසන ප්‍රතිඔක්සිකාරක ගුණ මෙන්ම ප්රතිආසාදනකාරක ගුණ දරයි. එමෙන්ම වැල් අල වලටම සීමා වූ සුවිශේෂී රසායනික සංයෝග ආකාරයක් ලෙස ඩයසොජෙනින් හැඳින්විය හැක. ස්ටෙරොයිඩීය සැපොනීන් මෙවැන්නක් වන අතර එය ප්රතික්ෂුද්රජීවී නාශක ගුණ දරයි. එමෙන්ම මේවා කෘතිමව ස්ටෙරොයිඩ හෝර්මෝන සංස්ලේෂණයේ දී ප්රාරම්භක අමුඳ්රව්යයක් ලෙස ද යොදා ගැනෙයි. විටමින් ආකාරයන් ද සුලබ අතර රයිබොෆ්ලේවීන්, පැන්ටොතෙනික් අම්ලය, ඇස්කෝබික් අම්ලය, තයමීන්, පිරිඩොක්සීන්,නියැසීන් සහ ෆෝලික් අම්ලය ආදියෙහි දෛනික අවශ්‍යතාවය වුවද සපුරාලීමට වැල් අල ප්‍රධාන ආහාර වේලක් ලෙස භාවිතයෙන් හැකිය. එමෙන්ම බීටා කැරොටීන් ද ප්‍රමාණවත් අන්තර්ගතයකින් යුක්ත වන අතර දේහය තුළ එය විටමින් A බවට පරිවර්තනය වන පුර්වග සංයෝගයක් ලෙස ක්‍රියාකරයි. ඛනිජ ලවණ ලෙස පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම්,කැල්සියම්, සෝඩියම්, යකඩ, සින්ක්, මැන්ගනීස්, කොපර් සහ සෙලීනියම් හඳුනාගෙන ඇත.
සමස්ථ සංයුතිය පිළිබඳව සළකා බැලූ විට නිරන්තර වැල් අල පරිභෝජනය පිළිකා, ක්ෂුද්රජීවී ආසාදන, ආසාත්මිකතා, අහිතකර කොලෙස්ටරෝල්, දෙවන ගණයේ දියවැඩියාව,චර්ම රෝග,ඇදුම, වයස්ගත වීමේදී ඇතිවන ඇල්සයිමර් රෝගය මෙන්ම වයස්ගත වීම ද පාලනය කළ හැකි බව විද්යාත්ම පර්යේෂණ තුළින් සොයාගෙන ඇත. මේවායින් කරන නිෂ්පාදන වල ග්ලූටන් අන්තර්ගත නොවීමත් ග්ලූටන් අමර්ෂය( Gluten intolerance)සහිත තත්ත්වයන්ට විසඳුමකි. දේශීය ආයුර්වේදයේදී සර්ප විෂ නැසීමට ඉහත දී සඳහන් කළ ගෝනල යොදාගන්නා අතර එය වැල් වල ඖෂධීය ගුණයට කදිම උදාහරණයකි.මේ අනුව මේවායින් ලබාගන්නා පිටි උපයෝගී කරගෙන පෝෂණ ගුණයෙන් ඉහළ විශේෂයෙන් බේකරි නිෂ්පාදන සහ රස කැවිලි මෙන්මනව ආහාරමය නිෂ්පාදන සහ අගය එකතු කළ නිෂ්පාදන ගණනාවක් සිදුකළ හැකිය.වැල් අල අතුරින් සමහරක් වනදර්ශ වන අතර සමහරක් ක්ෂේත්රයේ වගා කරනු ලබයි. සාමාන්‍යයෙන් දිවයින තුළ තුළ වැල් අල කන්න බෝගයක් ලෙස වගාකළ හැකිය. එනම් ඒකවාර්ෂික බෝගයක් වන අතර යල කන්නයේ දී වගාව ඇරඹීමත් (අප්‍රේල් සහ මැයි) මහ කන්නයේ දී (දෙසැම්බර් සහ ජනවාරි) ඵලදාව ලබාගැනීමත් සිදුකළ හැකියි. එමෙන්ම අල වල නැවත වගාකරන තෙක් සාපේක්ෂව දිගු සුප්ත කාලයක් ද නිරීක්ෂණය කළ හැක. පළිබෝධ හානි නොමැති තරම් වීමත් එතරම් සරු පසක් අවශ්‍ය නොවීමත් වැල් අල වගාවේ දී වාසිදායක තත්ත්වයන් ය. එකඳු ප්‍රභේදයක් හෝ තම ගෙවත්තේ වගා කර පරිභෝජනයට ගත හැකි නම් එය ඔබට නිරෝගී ජීවිතයක් සඳහා මඟ පාදනු ඇති.
රෝග වලට ගුණ දේශීය අල වර්ග කිහිපයක් -බුත්සරණ- සෙංගමාලය වැළඳුන රෝගීන්ට රෝග අවස්ථාවේ දී මෙන් ම රෝගය සුවවූ පසූ කලක් යන තුරු ම කෑමට දිය යුතු ය. කහ උණ සුව කරයි. කුණකටුවන් සහ කරවලයන් දෂ්ට කළ අයට බුත්සරණ ඖෂධයකි. ළදරුවන්ගේ සෙම් රෝග නිවාරණයට සහ කිරි මැලියම් දොස්වලට ඖෂධයකි.
කිඩාරන්- කිඩාරන්වල ඖෂධීය ගුණය කියා නිම කළ නො හැක. ශරීරයේ උෂ්ණයෙන් වැළඳෙන රෝග මැඬලයි. වැඩිහිටි කතුන්ගේ ඇට මිදුලූ දියවීමේ රෝගය සුව වේ. අර්ෂස් රෝගයෙන් බඩ වැල මෑත්වීම වළකයි. අර්ෂස් වැළඳීම වළකයි. අර්ෂස් වැළඳුන අය සුව කරයි. නාග විෂ මෙන් ම සියලූ සර්ප විෂ මර්ධනයට කිඩාරන් යොදා ගනී.
දන්දින- අධික රුධිර පීඩනය පාලනය කරයි. ඉතා පෝෂණ ගුණයෙන් යුතු හෙයින් ශරීර ශක්තිය වඩවයි. කාන්තාවන්ගේ කේෂ කලාපය වැඞීමට උපකාර වේ.
කුකුලල-මෙම වර්ගයේ අලවල හැඩය කැරට් අලයේ හැඩයට සමාන වේ. අල පැණි රසයෙන් යුක්ත වන අතර කුඩා ප්‍රමාණයේ අල පොකුරු වශයෙන් හට ගනී. මෙම අල තම්බා ආහාරයට ගනු ලැබේ.
වැල් අල-බුලත්කොළ හැඩති කොළ සහිතය , බොහෝවිට ගසකට හෝ වැටට වනලෙස වවා ඇත, ත්තල් 100 පමණ බර අලයක් හටගනී,අලය දිගැටිය,සුදුපාටය,ගැටිති ඉවත්කොට සෝදා තැම්බීම ඉතා වැදගත්ය.අර්ශෂ් වලට ඉතා ගුනවේ.නිවසේ වියලි සිසිල් ස්ථානයක වියලි වැලි තට්ටුවක් මත අතුරා තැබීමෙන් දින 100 පමණ වැල් අල කල් තබාගත හැකි බව පැරණි ගොවීන්ගේ අත්දැකීමයි.
ගහල-රසවත් අහාරයකි.තුන්මස් අල,දෙහිඅල සහ කදල යන ලෙස ප්‍රභේද කීපයකි.මෙහි කොලද අහාරයට ගනී.
බතල-සෙන්ගමාලයට හොද ඖෂධයකි.ශරීර ශක්තිය වඩවයි.
දන්දින්න-ආයුර්වේදයේ මෙම අල වර්ගය හොද ඖෂධයක් ලෙස සලකයි. මෙහි ඔක්සිකාරක ගුණ ඉතා වැඩිය ඔක්සිකාරක ගුණ වැඩි වන්නේ දම්පැහැය වැඩි බැවිනි.පිලිකා නාශක , දියවැඩියාව වැලැක්වීම ප්‍රතිශක්තිය ඉහල නැන්වීම දං දින්නා අල සතුය.
හිගුරල-සුදු පැහැති අල වර්ගයකි උෂ්නාධිකය ඇගිලිවලට බෙදී ඇත එක පොකුරට පිහිටයි ඌෂ්ණ අධික බැවින් රෝගීන්ට නුසුදුසුය.
රැවුල් කුකුල අල-මිහිරි රසයක් ඇත. මෙයද ආහාරයට ගනී.
රතඹල-සාමන්‍ය ආකාරයේ වැල් අලයකි අලය මැද දම් පාටය අලය විශාලය ඉහල ඔක්සිකාරක ගුණ ඇත.මෙම දේශීය අල වර්ග ඉතා පෝෂදායි වේ. මේවා ආහාර මාර්ගය තුලදි ඉතා ඉක්මනින් ජීර්ණය වේ.එදා මෙන් අදත් දේශීය අල ප්‍රභේද වගා කිරීම වාසි රැසක් ගෙන දීමට හේතු වෙයි. අල යනු ඕනෑ ම කුඩා හෝ බිම් කඩක වගා කළ හැකි බෝගයක් වීම ජලය හා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත අත්‍යවශ්‍ය නො වීම, කාබනික පොහොර පමණක් භාවිත කළ හැකි වීම, අවම ශ්රමයකින් වැඩි පලදාවක් ලබාගත හැකි වීම සහ රෝග හා කෘමි උවදුරුවල බලපෑම් අවමයෙන් සිදු වීම යන වාසි මේ අතර වෙයි..
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)