සම සිසිලෙන් සෞම්‍ය කර රුව වඩවන ඖෂධීය ගුණැති ජලජ පැළෑටියක් වන කෙකටිය ප්‍රභේද කිහිපයකින් දක්නට ලැබෙන්නක්. මෙරටත් ඉන්දියාවේත් ජලාශ්‍රිත ප්‍රදේශවල දක්නට ලැබෙන අතර කශේරු, සර , වාත කුසුම් ශුකරේෂට ආදි නම්වලින් හඳුන්වනු ලබනවා. Aponogeton crispus වඩා ප්‍රකට විශේෂය වන අතර විකිපීඩියා වෙබ් අඩවිය එය හඳුන්වා දෙන්නේ ශ්‍රීලංකාවට ආවේණික ශාකයක් ලෙසටයි. මෙරටට ආවේණික වර්ග තුනක් හඳුනා ගෙන ඇති අතර මෑතක සූරියකන්ද ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ ආවේණික විශේෂය මෙරට අධ්‍යාපනයේ පියා වන කන්නන්ගර ශූරීන් නමින් නම්කර තිබෙනවා. (Aponogeton kannangara)
ජලයේ පැළවී දියේ ගැඹුර අනුව උස්වන කෙකටිය ශාකයේ දඬුව අග වක ගැසුණු පුෂ්ප මංජරිය දක්නට ලැබෙන අතර එය දම් පැහැ මුසු සුදු පැහැයෙන් යුක්තයි. පෝෂක සහිතයි.
ප්‍රෝටීන් 17% ක් පිෂ්ටය 63%ක් තන්තු 6% ක් අඩංගු බව සඳහන්. ශාකයේ මල් දඬු කැඳ ලෙසත්, කිරට තෙලට වෑංජන ලෙසත් උයා ආහාරයට ගන්නවා. අල තම්බා පොල් සමග කෑමට ගන්නවා. එමගින් ශාකයේ වාසි ගුණ සිරුරට ලබාගත හැකියි.
ශාකයේ සියලු කොටස් ඖෂධ පිණිස යොදාගන්නවා. පිත සමනය කරන , වා සෙම් වඩන ගුණැති සිසිලකර කෙකටිය උෂ්ණාධික රෝගවලට එරෙහිව ක්‍රියා කරන්නක්. එය අම්ල පිත්ත අර්ශස් රෝග මෙන්ම මුත්‍රා දැවිල්ල උදර, මල මාර්ග දැවිලි දුරුකර දෙන්නක්.
කෙකටිය කාන්තාවන්ට ඉතා හිතකරයි. සමේ රෝග පාලනය කිරීමේ හැකියාව සමග සමේ ලප කැළැල් දුරුකර සෞම්‍ය පැහැපත් සමක් ඔවුන්ට ලබා දීමට ඊට හැකියි. ගැබිණි සමයෙහි ඉතා හිතකර ආහාරයක් වන එය දරුවා ලැබුණු පසු මවු කිරි ද වර්ධනය කර දෙනවා. එසේ ම ප්‍රදර ඇතුළු ගර්භාෂගත රෝග පළවාහරින එය දරු ගැබ් නොපිහිටන අයට දරු ගැබ් පිහිටුවා ගැන්මටද උපකාරිවනවා.
පිරිමි පක්ෂයට ද නොමසුරුව උපකාරිවන කෙකටිය බෙලහීනතා ශුක්‍ර දෝෂ දුරුකර දෙනවා. ශක්තිය හා බලය වර්ධනයකිරීමේ සුවිශේෂ හැකියාවැති කෙකටිය අල, කාම සුන්දරවටී මෙන්ම අශ්වගන්ධ චූර්ණ ඖෂධ සැකසීමට ද යොදා ගන්නා බව සඳහන්.
මේ හැරුණුවිට රක්ත පිත්ත , ආමවාත, ප්‍රමේහ, ගුල්ම රක්තාතීසාර දියවැඩියා සෙංගමාල හා අක්ෂි රෝගවලටත් , රක්ත දූෂිතවීම් කැසීම් තුවාල විසප්පු ආදියටත් එරෙහිවද ප්‍රතිචාර දක්වනවා. මුත්‍රා පිටකිරීම පහසු කර දෙනවා. සර්ප විෂට ප්‍රතිකාර සඳහාත් හිසට යොදන තෙල් සිඳීම සඳහාත් යොදාගන්නවා.
කෙකටියවලින් අත් බෙහෙත් – සෙංගමාලය සඳහා කෙකටිය මල් කැඳ පානය. මවුකිරි වර්ධනයට අල හා මල් කැඳ පානය. ශක්තිය හා බලය වැඩීමට කෙකටිය අල තම්බා පොල් සමග ආහාරයට ගැනීම. ලප කැළැල් දුරලීමට අල එළඟිතෙලෙන් අඹරා ගෑම. අම්ල පිත්ත රෝගයට ශාකය සහමුලින් තම්බා එම දිය බීම. කැඳ බීම. අර්ශස් රෝගයට කෙකටිය ශාකය, බෙහෙත් අනෝදා දලු, රත්කරල් සැබෝ දලු සමග උයා ආහාරයට ගැනීම. කෙකටිය, රතුලූනු ගොටුකොළ සමග කෙටූ යුෂ මඳක් රත්කර එළඟිතෙල් තේහැඳි බාගයක් දමා මිශ්‍රකර පානය කිරීම. වමනයට අල තැම්බූ දිය මීපැණි හා වී පොරි මිශ්‍රකර පානය කිරීම.
ලිපිය සැකසුම Indra Rathnay
(මූලාශ්‍ර හා සේයාරූ අන්තර්ජාලය හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)