ආයුර්වේදයේ දේව කුසුම්, චන්දන පුෂ්පක නම්වලින් හැඳින්වෙන කරාබු ඈත අතීතයේ සිටම මුව සුවඳවත් කරන්නටත් රෝග දුරුකරන්නටත් යොදාගත් වටිනා ශාකයක්. වනිතා අබරණක හැඩ ගන්නා බැවින් කරාබු නැටි ලෙස නම් කෙරෙනවා. ආහාර රසවත්, ගුණවත් සුවඳවත් කිරීමටත් යොදා ගන්නවා. කරාබු නැටි ආයුර්වේදයේ ත්රිවර්ග වලින් එකක් ලෙස සැලකෙන අතර රෝග ප්‍රතිකාර සඳහා අරිෂ්ට ආසව කුඩු තෙල් ආදී වශයෙන් සකසාගන්නවා. වියළි මල්, කොළ , කොළ නැටි ,ආදිය ඒ සඳහා යොදා ගන්නවා.
එමගින් වා පිත් සෙම් සමනය කරනවා. කුසගිනි වඩනවා. මල බුරුල්කර දෙනවා. ක්ෂය ස්වාස ඉක්කා වමන බඩ පිපුම් රුධිර රෝග, මල මුත්‍ර අඩස්සි, සුවපත්කරනවා. උපදංශ වැනි රෝග සුවකිරීමටත් කරාබු නැටි යොදාගත හැකි බව පැරණි ආයුර්වේද ග්රන්ථ සඳහන් කරනවා. එසේම සිරුර සුවපත් කරන ඇරෝමා තෙරපි සම්බාහනයට ත් කරාබු නැටි යොදාගන්නවා.
කරාබු නැටි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිත නොයෙකුත්, රෝගවලට සුව සැදීමට දායකවන්නක්. අජීර්ණය, බඩ පුරවා දැමීම, මලබුරුලට යාම, වමනය ඇතිවීම ආදියේදී, කරාබු නැටි හපමින් කෙළ ගිලීම අපූරු ප්‍රතිකාරයක්. එවැනිවිට කුඩා දරුවන්ට කරාබු නැටි තලා වතුරේ දමා පෙරා සීනි දමා දීම යෝග්‍යයි. වාහනයක දුර ගමන්යනවිට ඇතැමුන්ට ඇතිවන වමනයටත් කරාබු නැටි ගුණදායකයි. කරාබු නැටි ගෙනගොස් වුවමනාවු විට හප හපා සිටීමෙන් ඔවුන්ට සහනය අත්වෙනවා.
කරාබුවල ඇති ඉයුජිනෝල් තෙලෙහි අඩංගු ඖෂධීය ගුණ නිසා එය අතීසාරයට ප්‍රතිකාර සඳහාත් යොදා ගැනෙනවා. දත් කැක්කුම දත් පනුවන් කෑම ආදි මුඛ රෝගවලට කරාබු නැටි ඉතා ගුණදායකයි. කරාබු නැටි තලා දත් අතර තබා ගැන්මෙන් හෝ කරාබු තෙල් පුළුන් කැබෙල්ලක ගල්වා තබාගැන්මෙන් හෝ වේදනා දුරු කර ගත හැකියි. විදුරු මස් දියවීම සෙම්ගෙඩි හට ගැනීම ආදියේදී දින කීපයක් කරාබු තෙල් ආලේප කිරීම සුදුසුයි. හිසේ කැක්කුම සොටු දියර ගැලීම වැනි, සෙම් අමාරුවලදී කරාබු තෙල් පුළුන් කැබෙල්ලක ගල්වා නාසයට ඉරීමෙන් සහන අත්වෙනවා. අධික සෙම හා උගුර අපහසුතා ඇතිවිට උණුවතුරට කරාබු තලා දමා උගුර සේදෙන සේ බීම යහපත්. ඇදුම සෙම ගතිය ඇතිවිට උදේ සවස තේවලට කරාබු නැටි දෙක බැගින් කොටා දමා පානය කිරීම සහනදායකයි.
අපූරු වේදනා නාශකයක් වන කරාබු , කුරුඳු හා එකට තලා ගෑමෙන් සන්ධි වේදනා මග හැරෙනවා. වැටීම් තැලීම් ඉදිමුම් වේදනාවලදී කරාබු තෙල ශුලහර පින්ඩ හා ඔලිව් තෙල් මුසුකොට ගෑමෙන් සහනය ලබාගත හැකියි.
ආහාර ජීර්ණයටත් , අතීසාරයෙන් වැළකීමටත් , කරාබු නැටි කුරුඳු සූදුරු කලාඳුරු සමව ගෙන වියළා කුඩුකර දිනකට තේ හැන්දක් , මී පැණි සමග ගැනීම සුදුසු බව සඳහන් වෙනවා. පණු රෝගවලින් වැළැකීම සඳහා සතියකට වරක් කරාබුනැටි තැම්බූ වතුර බීම ගුණ දායකයි.
කරාබු නිද්‍රාකාරකයක් ලෙසද ක්‍රියාත්මක වෙනවා. නින්ද නොයනවිට උණුසුම් පානයකට කරාබු නැටි දෙකක් තලා, දමා බීමෙන් ඉක්මනින් නින්ද ළඟාවෙනවා.
ආහාර රස කරගැනීමට කරාබු යොදා,ගැනෙනවා. කරාබු නැටි කුඩුකර සුළං නො වදින සේ අසුරා තබාගෙන වෑංජන පිසීමේ දී ටික ටික එක්කර ගන්නේ, නම් ඉන් රසය ගුණය පමණක් නොව නිරෝගිකම ද ළඟා කරගත හැකියි.
තේ පෝච්චියට කරාබු නැට්ටක් තලා දැමීමෙන් තේ ද රසවත් ගුණවත් කර ගත හැකියි. මදුරු උවදුරින් මිදීමට කරාබු ගසේ කොළ යොදාගත හැකියි. ඒවා කබලක දමා දුම් ඇල්ලීමෙන් සිරුරට හානියකින් තොරව ම මදුරුවන් පළවා හැරිය හැකියි. සැර ගුණයෙන් යුතු කරාබු නැටි උදර තුවාල දැවිලි අම්ලපිත්ත රෝග ආදියේදී නම් භාවිතයට සුදුසු නැහැ.
ලිපිය සැකසුම ඉන්ද්රාකුමාරි රත්නායක
(මූලාශ්‍ර හා සේයා රූ අන්තර්ජාලය හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)