චර්ම රෝග සහ සන්ධි ඉදිමුම් වේදනාව නැත්තටම නැති කරන බර කොකු මාළුව
4,091 Views

තමන්ට මල්පල හිමි නැතත් අනුන්ට සෞඛ්‍ය මල් පල නෙළා දෙන ඔසු ගුණැති ශාක ලෙස බර කොකු හා කැරන් කොකු හඳුන්වා දිය හැකියි.ඒ , මල් පල නොමැතිව බීජානු මගින් ප්‍රජනනය සිදුකරන, ලොවෙහි ඇති 12000 කට අධික මීවන ශාක අතරින් , මෙරට දක්නා ලැබෙන ආහාර හා ඖෂධ සඳහා යොදා ගැනෙන ප්‍රභේද දෙකක්.
බැර කොකු, බරි කොකු, පාත්තර කොකු, යනාදි නම්වලින් හැඳින්වෙන බර කොකු තෙත් වනාන්තර හා මිරිදිය ජලාශ්‍රිත ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙනවා. කැරම් ඉත්තකුගේ හැඩය සහිත වට රවුම් දල්ල නිසාදෝ එය කැරම් කොකු ලෙසත් හැඳින්වෙනවා. රතු හා ලා කොළ වර්ණවලින් යුක්තයි.
කැරෑ කොකු ලෙසින්, හැඳින්වෙන කැරන් කොකු ඊට සමාන එහෙත් එතරම් වකුටු නොවන , වඩාත් කොළ පැහැති දලු සහිත මීවන විශේෂයක්. එය ගංගා හා ලවණ ජලාශ්‍රිතව ත් කඩොලාන ශාක අතරත් වැඩි වශයෙන් දැකිය හැකියි. කඩොලාන ප්‍රජාවේ දක්නට ඇති එකම පර්ණාංග ශාකයත් එය බවයි සඳහන්වන්නේ.
බර කොකු ළපටි දලු වෑංජනය සන්ධි ඉදිමුම් වේදනාවලට විස්මිත ගුණ දෙන්නක් බවට ප්රකටයි. සතියකට වරක්වත් වෑංජනය ආහාරයට ගැන්මෙන් දණහිස් ආබාධ වළක්වා ගත හැකි බව සඳහන්වෙනවා.
විටමින් A C තයමින් පොස්පරස් හා වෙනත් ලවණවලින් පොහොසත්, තන්තු බහුල බර කොකු අර්ශස් රෝගපාලනයට උපකාර වන අතර දේශීය වෛද්‍යවරුන් ඒ සඳහා මිරිදිය මාළු සමග බරකොකු වෑංජනය යහමින් අනුභව කළ යුතු බවට උපදෙස් දෙන බව සඳහන්. මල බද්ධය වැළැක්මට මඳක් මේරූ දලු ආහාරයට ගැන්ම වඩා පලදායක බව දැක්වෙනවා.
ශාකයේ දලු කොළ මුල් දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්රමවලදී රෝග සුවකිරීම් සඳහා යොදා ගැනෙනවා ඒවායේ ඇති ප්රතිපරපෝෂිත ගුණ මගින් පටිපනු ආසාදන ඇතුළු පනු රෝග මැඩ පැවැත්විය හැකියි.චර්ම රෝගවලට එරෙහි ක්‍රියාකාරිත්වයක් එහි ඇති බවත් කහඹිලියා වැනි විෂ පැළෑටි ස්පර්ශවී ඇතිවන කැසීම් දැවීම් ආදියේදී බරකොකු කොළ තලා ඇතිල්ලීමෙන් සහන සැළසෙන බවත් සඳහන්වනවා.
එහි ඇති විස නැසීමේ ගුණය නයි පොළොං විෂහරණයට ද යොදාගනු ලබනවා .ගෝනුසු පත්තෑ විෂ මෙන්ම මීමැසි දෂ්ටවලදී ත් ඉන් ප්‍රතිකාර කෙරෙනවා . එසේ ම බල හුරුල්ලන් වැනි මාළුවල සැර මැකීමට ද යොදාගන්නවා.ඇදුම වැනි ශ්වසන රෝග පාලනයටත් බරකොකු උපකාරීවනවා. එහි කොළ වියළා පුළුස්සන දුම ආඝ්‍රාණය කිරීමෙන් ශ්වාස නාල පුළුල්වී රෝගියාට පහසුව සැළසෙන බව සඳහන් වෙනවා. රුධිරගත සීනි පාලනය කිරීමටද ඊට හැකි බව සඳහන්.
චීනය ජපානය ඉන්දියාව නේපාලය ඕස්ට්‍රේලියා ව ආදි රටවල් ගණනාවක බරකොකු ශාකය දක්නට ලැබෙනවා.ශාකය පිළිබඳ කෙරුණු පර්යේෂණවලදී එහි කාන්තා ගර්භාෂ රෝග සුවයටත් , පුරුෂ බෙලහීනතාව දුරු කිරීමටත් ඇති හැකියාව හෙළි වී තිබෙනවා.සමෙහි බාහිර තුවාල , ලේ ගැලීම් ආදිය පාලනය කිරීමට හැකි ශක්තිය ද ශාකය සතුයි.එය මුත්‍රා ගැටළු, අතීසාරය වැනි රෝග විෂයයෙහිත් ප්‍රතිචාර දක්වන වා .ඒ හැරුණුවිට පියොයුරු පිළිකා ඇතුළු අනෙකුත් පිළිකා සෛල වර්ධනය මැඩපැවැත්වීමට ඇති හැකියාව ගැනද පර්යේෂකයන් සොයා බලමින් හිඳින බව සඳහන් වෙනවා.
පැපුවා නිව්ගිනියා වාසීන් එය දරුපල අහිමි කාන්තාවන්ට දරුවන් ලබා දෙන්නක් බව විශ්වාස කරන අතර ඒ සඳහා අළුත් ශාක දලු , කිසියම් ක්‍රමවේදයක් අනුව ඔවුන්ට ආහාරයට ලබා දෙන බව සඳහන් .
ළපට් බරකොකු දලු කුඩාකැබලිවලට කපා ලුණු මිශ්‍ර උණු දියෙහි පැය බාගයක් පමණ බහා තබා, දිය පෙරා උයාගන්නා වෑංජනය රසවත් මෙන්ම ගුණවත්. එය ගැබිණි මවුවරුන්ට නම් හිතකර නොවන බවයි සඳහන්වන්නේ.
විටමින් බී සංකීර්ණයෙන් පොහොසත් කැරන් කොකු මලයාසියාව ඕස්ට්‍රේලියාව හා ආසියාවේ දැකිය හැකියි. ශාකයේ කොළ හා මුල් ආයුර්වේද ඖෂධ ලෙස යොදාගන්නවා.එමගින් අර්ශස් උදරාබාධ අතීසාර ආදි ආහාර මාර්ගය ආශ්රිත රෝගවලටත් , අම්ලපිත්ත, හර්නියා තත්ත්වයන්ටත් ප්‍රතිකාර කෙරෙන බව සඳහන්. ශාකය විෂ නසන ගුණයෙන් ද යුක්තයි.ශාකයේ ගුණ ලබා ගැන්ම සඳහා, ළපටි දලු කුඩාවට කපා කහ ලුණු ගොරක දමා තම්බා දිය හැර කැමති ලෙසකට පිසගත හැකියි.
ජයවර්ධන පුර සරසවියේ කෙරුණු පර්යේ ෂණයකදී මස් මාලු අල පෙති ආදිය ගැඹුරු තෙලේ බැදීමේදී උරාගන්නා තෙල් ප්‍රමාණය බංඩක්කා යුෂ වැනි සෙවල පටලයක දවටා බැදීමෙන් 30% කින් අඩුකරගත හැකි බව සොයා ගැනුණා. එම කාර්යය සඳහා සෙවල පටල සහිත මෙ වැනි ශාක ත් කදිම ආදේශක බවයි අදහස් කෙරෙන්නේ.
(මූලාශ්‍ර හා සේයා රූ -අත්තම්මාගේ අත් බෙහෙත්, වෛද්‍ය ලේඛන , ඔසුපැළ හඳුනාගනිමු පූර්ව සංවාද , හා අන්තර්ජාලය ඇසුරිනි)