මොනරාගේ ශිඛාවේ හැඩැති මල නිසා ‘මයුර ශිඛා’ ‘මොනර කුඩුම්බිය’ යන නම්වලින් හැඳින්වෙන පැළෑටිය, වල් පැළෑටි අතර , මග දෙපස තණතීරු කැලෑබිම්වල ද, ගෙවතුවල ද සුලබව දක්නට ලැබෙන ඖෂධිය ගුණ පිරි කුඩා ශාකයක්. මල්වල වර්ණය අනුව ශ්වේත නීල වශයෙන් ප්‍රභේද දෙකක් ලෙස දැක්වෙනවා. කොළ කැඳක් සේ සකසා නිතිපතා පානය කිරීමෙන් සිරුර බොහෝ රෝගවලින් ආරක්ෂා වනවා සේම ප්‍රතිශක්තිය ද වර්ධනය වනවා.
එය වෑංජනයක්, කලවම් පළාවක්, මැල්ලුමක් සේ ද ආහාරයට ගත හැකියි. උෂ්ණ කාලයේ දාහය නිවීමටත්, සමේ දුර්වරණ දුරුවී පැහැපත්වීමටත්, සතියට වරක් දෙකක් මොනර කුඩුම්බිය වෑංජනය ආහාරයට ගැනීම උපකාරයක් වනවා. ආහාරයට, කැඳට යොදාගත යුත්තේ ශාකයේ මල් පිපෙන්නට පෙරයි.
මොනර කුඩුම්බිය අක්මාවට සුවිශේෂ ආරක්ෂකයෙක්. සෙංගමාලය වැනි අක්මා රෝගවලදී එහි කොළ යුෂ යෙදූ කැඳ බොහෝ ගුණදායකවනවා. මොනර කුඩුම්බිය කෂාය හඳුන්වන්නේ ඕනෑම උණක් බස්සන ඖෂධයක් ලෙසටයි. උණ රෝග මෙන්ම අග්න්‍යාශ ආමාශ මුත්‍රා පිත්තාශ ගර්භාෂ දියවැඩියා ශීර්ෂ ආදි රෝග ගණනාවක් ම මැඩලීමට එයට හැකියි. ආහාර මාර්ගය ආශ්රිත අජීර්ණ අතීසාර රෝගවලදීත් මොනරකුඩුම්බිය කෂාය ගුණදෙනවා. ශාකය රුධිරය පිරිසිදු කිරීමේ ශක්තියෙන් හා ශරීරයේ ගල් දිය කිරීමේ ශක්තියෙන් ද යුක්තයි. ඉදිමුම් සුව කිරීමේ හා වේදනා නැසීමේ හැකියාව එහි පවතිනවා. ස්නායු පද්ධතියේ දුර්වලතා මග හැරීමට ද මොනර කුඩුම්බිය උපකාරිවනවා. ඇස් රතුවීම ,කබ කඳුළු ගැලීම, ඇස් දැවිල්ල ඇතිවිට මෙම මල් තැම්බූ වතුරෙන් වරින්වර සේදීමෙන් ඉක්මන් සුව ලැබෙනවා.
පැළෑටිය සහමුලින් ගෙන බැබිල නීරමුල්ලිය ඉඟුරු ඒ හා සමව ගෙන සතියකට වරක් තම්බා බීමෙන් සිරුරේ උෂ්ණාධික බව නැතිවී රුධිරයේ විෂ, පහවී යනවා. දිය වැඩියා හා පිළිකා රෝගීන්ගේ රුධිර පට්ටිකා වර්ධනය වීමට මොනර කුඩුම්බිය කැඳ හා වෑංජනය හේතුවනවා. අග්න්‍යාශයේ බීටා සෛල නිෂ්පාදනය සඳහා මොනර කුඩුම්බිය හා හීන් බෝවිටියා සම සමවගෙන වෑංජනය සකසා ආහාරයට ගැන්ම සුදුසුයි.
මොනර කුඩුම්බිය සමේ රෝග සුව කිරීමේ මෙන්ම සම පැහැපත් කිරීමේ ගුණයෙන්ද යුක්තයි. රජ බිසෝවරුන් තම රූපලාවණ්‍යය රැකගැන්ම සඳහා එය ද යොදාගත් බව සඳහන්වනවා. ඒ සඳහා සුදු හඳුන් කොකුම් පොතු හා සැවැන්දරා සමග මොනර කඩුම්බිය සමව ගෙන අඹරා සමෙහි ගල්වා පැය දෙකක් තබා සෝදා හරිනවා. ඉන් සමේ නිරෝගි බව, පැහැපත් බව, තෙත් බව, මෙන් ම සුවඳවත් බව ද ඇතිවනවා.
මොනර කුඩුම්බිය ශාකයෙන් අත් බෙහෙත්
සෙංගමාලයට – මොනර කුඩුම්බිය කැඳ, ළමා මාන්දමට – කැඳ හා වෑංජනය, සෙම් ගෙඩ් – ළපටි දලු තම්බා මුව උගුර සේ දීම, කුෂ්ට රෝග – තල තෙල් සමග කොළ අඹරා රත්කර මඳ උණුසුමෙන් බිබිලිවල ගෑම, ප්‍රතිශක්තිය වැඩීමට – කැඳ මැල්ලුම වෑංජනය, අළු හම් වලට – යුෂ ආලේපය, කල් ගත කැස්සට – ශාකය වියළා කුඩුකර උතුරන වතුරට දමා විනාඩි 20 ක් තබා පෙරා බීම, අර්ශස් – ශාකයේ කඳ පමණක් ගෙන අඹරා ඉන් 1/3 ක ප්‍රමාණයෙන් තිප්පිලි දමා තම්බා බීම, සමේ දැවිල්ල හා සම දුර්වර්ණ වීමට. පිත් දොස්වල ට – පොල් කිරි දමා වෑංජනය උයා කෑම, ඇස් රතුවීම කබ, කඳුළු ගැලීම – ශාකයේ මල් තැම්බූ දියෙන් ඇස්, මුහුණ සේදීම, අක්මා, ආමාශගත රෝග. මුත්‍රා රෝග – මැල්ලුම ආහාරයට ගැනීම, සුදු කබරවලට – ශාකයේ ඇට තල තෙලින් අඹරා වරින් වර ගෑම, උෂ්ණාධික සැරව බිබිලි – ශාකයේ මුල කොටා එහි යුෂ ආලේප කිරීම, අජීර්ණයට බඩ පුරවා දැමුමට – මොනරකුඩුම්බිය කෂාය කර බීම
ලිපිය සැකසුම Indra Rathnay
(මූලාශ්‍ර , සේයා රූ- අන්තර්ජාලය, අපේ ඔසු පැළ හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)