මතක ශක්තිය දියුණු කරන බ්‍රහ්මයා ලබාදුන් ත්‍යාගය ලුණුවිල
3,088 Views
![](https://sriarana.net/site_images/sriarana_whatsapp_channel_banner.gif)
මතක ශක්තිය ගෙන එන වටිනා ඖෂධීය ශාක ලෙස සැලකෙන තල, ගොටුකොළ, නිවිති හා එක පෙළට සිටින තවත් ශාකයක් ලෙස ලුණුවිල හැඳින්විය හැකියි. ජලාශ්‍රිත පෙදෙස්වල මනාව වැවෙන කුඩා පැළෑටියක් වන ලුණුවිල මඳක් තිත්ත රසයෙන් යුක්තයි. වාත හා සෙම් රෝගවලට ගුණදායක ලෙස සඳහන් වන අතර ශාකයේ සියලු කොටස් ඖෂධ සඳහා යොදා ගැනෙනවා.
බ්‍රහ්මයා ලබාදුන් ත්‍යාගයක් ලෙස හින්දූන් විශ්වාස කරන බැවින් එය බ්රාහ්මී ලෙස හඳුන්වන අතර එහි වටිනාකම නිසා සරස්වතී , දිව්‍ය තේජා, ආදි තවත් නම් ගණනාවක් ම ඊට පටබැඳී පවතිනවා.
මොළයේ පටක වර්ධනය කිරීමේ ශක්තිය ඇති ලුණුවිල මානසික දුර්වලතා දුරලන්නක්. එය මතක ශක්තිය වැඩීමට, බුද්ධි වර්ධනයට , මානසික ඒකාග්‍රතාව රැකීමට මෙන් ම උන්මාද හා ශීර්ෂ රෝග සුව කිරීමට ද සුවිශේෂ දායකත්වයක් ලබා දෙනවා, මලබද්ධය දුරු කිරීමට හා සිරුරේ විෂහරණයටත් හේතුවනවා. මුත්‍රාකාරකයක් හා මෘදු විරේචකයක් ලෙසත් ක්‍රියාත්මකවනවා. මනස සුවපත්කර නින්ද ත් ලබා දෙනවා.
ඒ හැරුණුවිට බලය ජවය වර්ණය හා ප්‍රතිශක්තිය සිරුරට කැඳවන්නක් , හදවත ශක්තිමත් කරන්නක් , ලිංගික හැකියාවන් උද්දීපනය කරන්නක් ලෙසත් හැඳින්වෙනවා.
එය පෙණහළු , අපස්මාර, ස්නායු රෝග මැඩලන්නක්. බරපතල ස්නායු ආබාධයක්වන පාකින්සන් රෝගයට සුදුසු ඖෂධයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. එසේ ම සෙම් වාත ඉදිමුම් වේදනා කැසීම් චර්ම රෝග ආම දෝෂ මල බද්ධ කුසගිනි මදිකම් දුරලන්නක් සේ සැළකෙනවා.
දරුවන්ට කුඩාකාලයේ සිටම ලුණුවිල යුෂ ස්වල්පයකට සමග මීපැණි බිඳුවක් දෙකක් මුසුකොට උදෑසන දෙන්නේ නම් ඔවුන්ගේ ඉගෙනුමට පලදායක වනවා. කතාකිරීමට පමාවන දරුවන්ට කතාකිරීමේ හැකියාව ඉක්මන් කර දෙන ඖෂධයක් ලෙසත් ලුණුවිල සැළකෙනවා. ඒ සඳහා ලුණුවිල රතුලූනු හෝ එළඟිතෙල් සමග මිශ්‍ර කර දෙනු ලබනවා. බිළිඳුන්ට රන් කිරි කට ගෑමේ දී මවුකිරට ලුණුවිල යුෂ ස්වල්පයක් මුසු කොට දෙන්නේ ස්මෘතිය බලය ආයු වර්ණ සම්පත් ලබා දීමේ අපේක්ෂාවෙන්. කිරි දෙන මවුන්ට නොයෙක් ආකාරයෙන් ලුනුවිල ආහාරයට සකසා දෙන්නේත් දරුවාගේ යහපත් වර්ධනය උදෙසායි. දරුවන්ට පමණක් නොව වියපත් වන්නන්ටද ලුනුවිල මගින් වටින මෙහෙයක් ඉටුවෙනවා. ඒවායේ ඇති සුවිශේෂ සංයෝග මගින් මොළයේ නව සෛල ජනනයට උත්තේජන සපයමින් මහලුවියේ මොළයේ ඇතිවන අඩපණවීම් වළකාලනවා. තරුණකම දිගු කර දෙනවා. වියපත්වීමේ දී ඇතිවන මතක අඩුවීමට දිනපතා උදය ලුණුවිල යුෂ බිංදු කීපයක් පානය කිරීම සුදුසුයි.
ලුණුවිල වේදනා නාශකයක් ලෙසත් ක්‍රියාකාරීවන බැවින් නොයෙකුත් ශරීර අපහසුතා සඳහා ආහාරයක් විලස ලබාදෙනවා. තුවාල සුවයට වෑංජනය සුදුසුයි . සුව නොවන තුවාල සඳහා ලුණුවිල තැම්බූ දියත් ලබා දෙනවා. එය පනු රෝග වැළැක්මටත් හේතුවනවා. වණ කුෂ්ට කැසීම් වැනි චර්ම රෝගවලට ප්‍රතිචාර දක්වනවා. සිරුරේ ඉදිමුම් රතුවීම් වේදනා ඇතිවූවිට කොළ යුෂ ගෑමෙන් සහන අත්වෙනවා. උදෑසන හිස්බඩ ලුණුවිල කොළ යුෂ ස්වල්පයක් පානය කිරීම හෝ ලුණුවිල කොළ තුනක් සපාකා වතුර බීම මතක වැඩීමට උදව් වන්නක්. ලුණුවිල කොළ යන්තමින් වියළා කුඩුකර තේ පානයක් සේ සකසා බීමෙන් එහි ගුණ ලබා ගත හැකියි. ලුණුවිල කුඩු තේ හැන්දක් එළකිරි සමග උදෑසන බීමෙන් රුධිරය පිරිසිදුවනවා . නොයෙකුත් අසාත්මිකතා නිසා ඇතිවන ලේ විෂවීම් වලටත් එය ප්‍රතිකාරයක්. කුඩු චූර්ණයක් සේ සකසා ඉන් තේ හැඳි දෙකක් ඇල්වතුර සමග බීමෙන් මානසික ආතතිය නිසා නොලැබෙන නින්ද ලබා ගැන්මට හැකිවන බව සඳහන්. උගුරේ අමාරුවලට කට හඬ දුර්වල වීමට ලුණුවිල කොළ එළඟිතෙලෙන් මලවා කෑම ගුණදායකයි. ඉන් කටහඬත් මිහිරිවනවා. ලුණුවිල අරළු හා තම්බා දීමෙන් මල බුරුල් වනවා. අක්මාවේ අධික වෙහෙස හා විෂ දුරලීමට ලුණුවිල කෂායකර දෙනු ලබනවා
නිරෝගී සුව සහන සඳහා ලුණුවිල ශාකය සහ මුලින් ගෙන කොළ කැඳ සකසාගත හැකියි. වෑංජනයක් සේත් කොළ මැල්ලුමක් සේත් , සම්බෝලයත් සේත්, සකසාගත හැකි අතර කොළ පිහියෙන් නොකපා ඇඟිලි තුඩුවලින් කඩාගැන්ම වඩා යෝග්‍යයි. ලුණුවිල තැම්බුමක් සේත්, තැම්බූ පානයක් සේත් සකසාගන්නත්, සුප්වලට යොදා ගන්නත් හැකියි.
ලිපිය සැකසුම-2018. 02. 22 (Indra Rathnay)