රැලි කඩදාසියකින් හැඩට කැපුවාක් මෙන් අලංකාර මල් පිපෙන නිසා දෝ crepe ginger නමින් හැඳින්වෙන, තෙබු අග්නිදිග ආසියාව නිජබිම කොටගෙන පසුකාලීනව අනෙකුත් මහාද්වීපවලට ද පැතිර ගිය ඖෂධිය ශාකයක්. zingibera කුලයට අයිතියි. ඇතැම්විට අත්තේ පැත්තකින් පමණක් දිගු පත්රවැලක් සැදී මාලයක සිරි උසුළමින් සර්පිලාකාරව වැඩෙනු දක්නට ලැබෙනවා. ශාකයේ අල, ඉඟුරුවලට ආදේශකයක් ලෙස සැළකෙන හෙයින් දෝ, malay ginger, wild ginger, යන නම්වලින්ද හඳුන්වනු ලබනවා. ඉන්දුනීසියාවේ බහුලව දක්නට ඇති අතර ඉන්දියාවේ ඖෂධීය ආහාරයක් ලෙස වගා කරනු ලබනවා.
රතු පාටැති කඳ සහිත තෙබු ප්‍රභේදය ඖෂධ සඳහා වඩා සුදුසු බව සඳහන්. අල මුල් පත්‍ර යන සියල්ල ඖෂධ සඳහා යොදා ගන්නා අතර විවිධ පෝෂක වලින් පොහොසත් ප්‍රතිඔක්සිකාරක ගුණ සපිරි ශාකයක්. තෙබු කොළ ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් 19% ක් කාබොහයිඩ්රේට් 44% ක් කෙඳි 12%ක් ලිපිඩ 4%ක් හා කැ ල්සියම් මැග්නීසියම් සෝඩියම්2% බැගින් ද අඩංගුයි.
තෙබු දාහය නිවන්නක්. ආහාර රුචිය වඩන්නක්. කොළ මුල් දෙවර්ගය ම විෂහරණ ශක්තියෙන් යුක්තයි. බැක්ටීරියා, දිලීර නාශක ගුණ සහිතයි . රෝග ගණනාවක් සුව කිරීමේ හැකියාව සහිත බැවින් දිව ඔසුවක් ලෙස හැඳින්වෙනවා.
දියවැඩියාව , අධි රුධිර පීඩනය, අධිකොලෙස්ටරෝල් අර්ශස්, මලබද්ධය, සෙංගමාලය, අම්ලපිත්ත රෝගය, ඇස් රෝග ඇදුම පණුරෝග රක්ත හීනතාව සුදුකබර ලාදුරු අක්මා ආබාධ, ආදි රෝග ගණනාවකට තෙබු කොළ ගුණ දෙනවා.
සමේ බිබිලි සුවකරන අතර පැපොල රෝගය නිසා ඇතිවන කැළැල් ඉක්මනින් මකා දැමීමට උපකාරිවනවා. සර්ප ගෝනුසු විෂ දුරුකිරීමට සහායවනවා. තෙබු මුලේ යුෂ දැවිල්ල සංසිඳුවීමට යොදා ගැනෙනවා. මුත්‍රා අඩස්සිය සෑදුණු විට තෙබු කොළ කොටා රෙදිකඩක දවටා පෙකණියේ පැලැස්තරයක් සැකසීමෙන් ගුණ ලැබෙන බව ඖෂධීය ශාක සංග්‍රහය පළ කරනවා.
ශාරීරික සෞඛ්‍යය පමණක් නොව මානසික සෞඛ්‍යය ද රැක දීමට තෙබුවලට හැකියි එය මානසික ආතතිය දුරුකිරීමේ හැකියාවෙන් යුක්තයි. හෝමෝන ක්රියාකාරිත්වයන් කෙරේ බලපෑම් කළ හැකි තෙබු උපත් පාලන ඖෂධ සඳහාත් යොදාගන්නවා. ඉන් දියාවේ ඉපැරණි කාම සූත්‍රය ග්‍රන්ථයේ දැක්වෙන අයුරින් මෙය ලිංගික ශක්තිය වැඩිකිරීම සඳහා යොදාගනු ලබන බව ද සඳහන්.
ළපටි තෙබුකොළ සලාදයට, සකසා ආහාරයට ගත හැකියි. පරිප්පු යොදා වෑංජනයත් රසවත්. කොළ තනිව හෝ කලවම් පලා ලෙස මලවා ගත හැකියි. ළපටි කරටි කිරට තෙලට සකසා ගත හැකියි. තෙබු අල ත් වෑන්ජනයට සකසාගත හැකියි.
දිනපතා තෙබු ආහාරයට ගැනීම නම් හිතකර නැහැ. සතියකට වරක් දෙවරක් ගැනීම සෑහෙනවා. සීනි පහත හෙළීමට එහි ඇති ශක්තිය නිසා දියවැඩියාවට ඖෂධ ගන්නා රෝගීන් වෛද්‍ය උපදෙස් සහිතව ආහාරයට ගැනීම යහපත්.
ලිපිය සැකැසුම -Indra Rathnay-
(මූලාශ්‍ර- වෛද්‍ය ලේඛන හා අන්තර්ජාලය )