දරු සම්පත් ඇතිකරවන, මුත්‍රා ගල්, මුත්‍රා දැවිල්ල, අර්ශස්, ඇතුළු රෝග ගණනාවකට සුවය සලසන අක්කපාන
6,186 Views
නිවර්තන අප්‍රිකානු සම්භවයක් සහිත අක්කපාන ශාකය මෙරට පහත්බිම් හා පහත් කඳු බිම්වල ,බොහෝවිට ගල් ආශ්‍රිතව වැඩෙමින් අලංකාර මලින් හා රටා වැටුණු හැඩකාර මාංශල පත්‍රවලින් එම පෙදෙස් සරසනවා. පත්‍රවලින් මුල් ඇදීම මෙහි ඇති විශේෂත්වයක්. ගල් බිඳින යන අරුතින්, පාෂාණ භේද, ශෛලෝද්භේද, යන නම්වලින් හැඳින්වෙන අක්කපාන, එහි ඇති විශ්මිත ගුණ නිසාම ලොව නොයෙක් රටවල Miracle Leaf, Wonder of the world යනාදී තවත් විවිධ නම් පට බැඳුණු වටිනා ඔසුවක්.
මෘදුකිරීමේ, විෂහරණය කිරීමේ, දාහය දුරු කිරීමේ, රුධිර වහනය වැළකීමේ, වේදනා නැසීමේ ගුණවලින් යුක්තයි. calcium sulphate, calcium oxalete, tertarate of pottasium ආදී රසායන සංයෝගවලින් සපිරුණු අක්කපාන වාත පිත සමනය කර න්නක්. සිරුර ශක්තිමත් කරන්නක්. තිත්ත හා ඇඹුල් රසයෙන් යුක්තයි. මෙරට වෙද කමෙහි විවිධ රෝගාබාධවලට ප්‍රතිකාර සඳහා එය යොදා ගනු ලබනවා.
මුත්‍රා ගල් ඉවත් කිරීම ඇතුළු මුත්‍රා රෝග 12 කට ප්‍රතිකාර සඳහා යොදාගන්නා බව සඳහන්. ඒ හැරුණුවිට හදවත් රෝග, ප්‍රමේහ රෝග පාචන අතීසාර රක්තාතීසාර, රක්ත ප්‍රදර, පෙණහළු තුවාල, ඉදිමුම්, සන්ධි රෝග, අස්ථි බිදීම්, අක්ෂි රෝග චර්ම රෝග, ශුක්‍ර දෝෂ, අම්ලපිත්ත රෝග ඒ අතර වනවා.
වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරන අතර දේශීය වෛද්‍යවරුන් ගෙඩි කපා හැරීමේදී නිර්වින්දන ඖෂධයක් සේ ගැටතුඹ හා මිශ්‍රකර යොදාගන්නා බව ද, සඳහන්. චීනය හා කැරීබියන් දූපත්වල ත් අක්කපාන වේදනා නාශකයක් සේ යොදා ගැනෙනවා. අක්කපාන කොළ තබා බැඳීමෙන් බිඳුණු අස්ථි සැකසෙන අතර එනිසා ‘බින්න යෝජනී ‘ නමද ඊට පට බැඳී තිබෙනවා. සියුම් ධමනි ශාඛා හකුළුවන ශක්තියක් මෙහි ඇති බැවින් සිරුරේ ලේ ගැලීම් නතර කර ලීමට එයට හැකියි. ලේ අතීසාර රක්ත ප්‍රදර, රක්ත අර්ශස් රෝගවලදී ප්‍රතිකාර සඳහා මේ කොළ යුෂ ලබා දෙන්නේ එනිසායි.
වාජීකරණ ගුණ සහිත අක්කපාන ශුක්‍ර දෝෂ දුරුකර දරු සම්පත් අහිමිවූවන්ට එය ලබාදීමේ හැකියාව ද ඇති ඖෂධයක්. කිරි දෙන මවුවරුන්ට කිරි එරී වේදනා ඇතිවූ කල, කොළ එඬරු තෙල් හා අඹරා රත්කර ආලේපකිරීමෙන් සහන අත්වන බව සඳහන්. සමෙහි තැලීම් තුවාල වීම් වණවීම් ඉදිමුම් ආදියේ දීත් කැසීම් වැනි චර්ම ආබාධවල දීත් අඹරා ගත් කොළ හෝ මිරිකාගත් යුෂ ආලේප කිරීමෙන් සුවපත් වනවා. එමගින් සම නිරෝගිව පැහැපත්වනවා.
සෙම් ගෙඩි නිසා හෝ වෙනත් උගුරේ අමාරුවකදී අක්කපාන කොළයක් මැදින් කඩා විවර පැත්ත ඇතුළට වනසේ දිවෙහි තබා උඩුතල්ලට තදකොටගෙන යුෂ උරාබීමෙන් වහා වේදනාව දුරුකරගත හැකියි. කොළරාව, ක්ෂය රෝගය, වැළඳුණුවිට ද ප්‍රතිකාර ලෙස අක්කපාන කොළ යුෂ ලබා දෙනවා. ඇදුම වැනි ශ්වසන පද්ධතිය ආශ්රිත රෝගවල ට එය ගුණදායකයි. ඉරුවා රදය සුව කිරීමටත් අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කිරීමටත් එය උපකාරිවනවා. අක්මාවත් ආරක්ෂාකර දෙනවා. අක්කපාන යුෂ පොල්තෙල් සමග මිශ්‍ර කර හිසෙහි ගා සම්බාහනය කිරීමෙන් හිස් සොරි දුරු කරගත හැකියි. ඇස් යට කළුවූවිට කොළ අඹරා ආලේප කිරීමෙන් පැහැපත් කර ගත හැකියි. අක්කපාන වඩාත් ප්‍රචලිතව ඇත්තේ මුත්‍රා රෝග වලට ඇති සුවිශේෂ ගුණ සම්බන්ධයෙනුයි. මුත්‍රා අමාරුවල උග්‍ර වේදනා අවස්ථාවලදී අක්කාපාන කොළ අඹරා යටි බඩෙහි ආලේප කරනු ලබනවා. මුත්‍රා අඩස්සිවූ විට අක්කපාන පැලැස්තරය යටිබඩෙහි එළීමෙන් තදවී ඇති පේශි ඉහිල්වී වේදනා අඩුවී මුත්‍රා පිටවීම සිදුවනවා. මුත්‍රාශයෙහි ගල් සෑදුණුවිට කොළයුෂ පානය කරන්නට දීම පලදායක අත් බෙහෙතක් බව ත් එමගින් මුත්‍රා ගල් කැඩී දියවී .මුත්‍රා සමග පිටවී යන බවත් සඳහන්වෙනවා. අක්කපාන කොළ වෑංජනය හෝ සලාදය කෑමෙන් ද එම ප්‍රතිපල ය අත්කර ගත හැකියි. මුත්‍රා කිරීමේදී ඇතිවන දැවිල්ල හා වේදනාව දුරු වීමට, අක්කපාන ශාකය සහමුලින් ගෙන තම්බා පෙරා පානය කිරීම ද අත්දුටු බෙහෙතක් බව සඳහන් වෙනවා. පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම නිසා මුත්‍රා පිටකිරීම අපහසු වූ කල අක්කපාන කොළ උණුවතුර කෝප්පයක දමා තැම්බෙන්නට හැර පෙරා උදේ හිස්බඩ බීම සුදුසු බව සඳහන්. මුත්‍රා දැවිල්ලට මෙන්ම මුත්‍රා ගල්වලට ද අක්කාපාන කොළ කොටා මිරිකාගත් යුෂවලට මීපැණි මිශ්‍රකර උදේ හිස්බඩ බීම තවත් අත් බෙහෙතක් ලෙස දැක්වෙනවා.
නිවසේ දී සිදු වන කැඩුම්-බිඳුම් සහ තැළීම් වලදීද, හන්දි ඉදිමුම් හෙවත් සරල ආතරයිටීස් තත්වයන් හීදීද, වෛද්‍ය උපදෙස් ලැබෙන තුරු අත්බෙහෙතක් ලෙසද “අක්කපාන” යොදගත හැකිය. ඒ අක්කපාන කොළ මිටක් පමණ ගෙන ඇල්දියෙන් කොටා තලපයක් සේ අදාළ ස්ථාන වල ආලේප කිරිමෙනි. මෙමඟින් ඉක්මනින් ඉදිමුම අඩුවන අතර වේදනාවද අඩුවේ. සුළු අස්ථි පිපිරුම් තත්වයන් පෑහීමේ හැකියාවද “අක්කපාන” සතුවේ.
අක්කපාන කොළ එළඟි තෙල් සමග හොදින් අඹරා තුවාල මතු පිට ආලේප කිරීමෙන් තුවාල ඉක්මනින් සුව වේ. විසර ගෙඩි මත ආලේප කිරීමෙන් සැරව ඉවත් වේ .විදුරුමස පුපුරා ගොස් දත් ඒමේ දී ඇති වන වේදනාකාරී අවස්ථාවල අක්කපාන කොළ මී පැණි සමග ආලේප කරීමෙන් සුවය ලැබේ.
සමේ ඇති වන කැසිම් වලදී සහ වණ, තුවාල වලදී “අක්කපාන” කොල තැම්බූ දියෙන් සේදීමෙන් සහනය ලබාගත හැකිය. මුත්‍රාශයේ ගල් ඇති රෝගීන්ට තමන් ලබාගන්නා බටහිර වෛද්‍ය ප්‍රතිකාර අතර වුවද සතියකට වරක් දෙවරක් “අක්කපාන” භාවිතයෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන. ඒ නටන උණුවතුරට අක්කපාන කොළ කිහිපයක් පොඩි කර දමා විනාඩි පහක් පමණ වසා තබා පෙරා බීමෙනි. අම්ල පිත්ත රෝගය, බඩ දැවිල්ල සහ බඩ පිපීම පවතින අයටද අක්කපාන කොළ නටන උණුවතුරේ තම්බා බීමෙන් සුවය ලබාගත හැක. තරුණ ගැහැණු දරුවන්ගේ මාසික වේදනා අවම කරගැනීම සඳහාද මේ ප්‍රතිකාරය සුදුසුය. වයස් ගත වනපුරෂයින්ට සෑදෙන පුරස්ථි ග්‍රන්ථි ඉදිමීමේන් අපහසුතා සඳහාද එම ප්රතිකර්මය යොදාගත හැකිය.
රක්තර්ශස්, රක්ත ප්‍රදර සහ රක්තාතීසාරය ඇති රෝගීනට “අක්කපාන” භාවිතා කළ හැක්කේ මෙලෙසය. අක්කපාන කොළ යහමින් ගෙන වණ්ඩුවේ තම්බාගෙන, එහි යුෂ ගෙන මේස හැඳි දෙකක් පමණ මීපැණි ස්වල්පයක් අනුපාන කොට බීමෙන් වේදනාව සමනය වී රක්ත මෝචනය අඩුවනු ඇත. මලබද්ධය පවතින අවස්ථාවන් වලදී දේශීය වෛද්‍ය ප්‍රතිකර්මයක් ලෙස “අක්කපාන” කොළ, කොහිල දඩු සමභාගව ගෙන කොටා, වණ්ඩුවේ තම්බා යුෂ රැගෙන මීපැණි සමඟ භාවිතා කළ හැකිය.
කාන්තාවන්ට ඇතිවන සියලු ප්‍රදර රෝග වළදී සහ අතීසාර අවස්ථාවන් වලදී ක්ෂණික ප්‍රතිකර්මයක් ලෙස අක්කපාන සමඟ තැඹිලි මල් තම්බා, එම වතුර පානය කරන්නට දීමෙන් වහා සුවය සලසා ගත හැකිය.
මානසික ආතතිය ඇති පුද්ගලයන් වෛද්‍යවරුන් හමුවේ පවසන ප්‍රධාන රෝග ලක්ෂණයකි. එම තත්වයට හේතු වන්නේ එවැනි පුද්ගලයින්ගේ රක්ත ධාතුවත්, පිත ධාතුවත් දූෂ්‍ය වීමයි. මෙයද අක්කපාන දලු මිටක් අතින් පොඩි කර, උණුවතුරේ තම්බා බීමෙන් සුවය සලසා ගත හැකිය. වෙනත් ආහාරවල අන්තර්ගත විෂ ද්‍රව්‍ය වලින් ආසාදිත වූ අක්මාවටද, අක්කපාන කොළ තැම්බු වතුර පානය හිතකරය. එමඟින් අක්මාවේ එක්රැස් වූ විෂ කොටස් දිය කර හරිනු ඇත. දිගින් දිගටම මෙවැනි විෂ ද්‍රව්‍ය අක්මාවේ තැන්පත් වීමෙන් ශරිරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය අඩපණ කෙරේ.
අක්කපාන වල කොළ දේශිය වෙදකමේදී ප්‍රයෝජනයට ගත් අතර ආයුර්වේද වෙදකමේදී එහි මුල්ද ප්‍රයෝජනයට ගෙන තිබේ. මෙහි මූල පද්ධතියේ ඇත අලය වැනි කොටස ගෙන හොදින් පිරිසුදු කර කුඩා කැබලි වලට කපා හොදින් වියළා කුඩු කර කෝපි මෙන් උණු වතුරට මිශ්‍ර කර පානය කිරීමෙන් මලබද්ධය වළක්වා ගත හැකිය. එයට අමතරව ආයුර්වේද චූර්ණ වර්ග සඳහාද අක්කපාන භාවිතා කරයි.
අක්කපාන කොළ ඉස්ම තල තෙල් හා මිශ්‍රකර සාදා ගන්නා තෛලය හිසෙහි ආලේප කිරීමෙන් අකලට කෙස් පැසීම වැළකීම හා යහපත් කෙස් කලඹක් ලබන්නට හැකිය . මුත්රාශයට අමතරව පිත්තාශය ආශ්‍රිතව හටගන්නා ගල් දිය කර හැරීමටද අක්කපාන භාවිතා කළ හැකිය.
මේ සියලු ප්රතිකර්මයන් පුරුද්දක් ලෙස නිතර භාවිතා කිරීමට පෙර පෙරදිග වෛද්‍ය උපදෙස් අනුගමනය කිරිම වැදගත්ය. එහෙත් ආහාරයට එක්කර ගැනිම මගින් හෝ සතියකට වරක් දෙවරක් අත්හදා බැලිමෙන් ශරිරයට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවේ.
මේ අනුව බලන කළ අප නොසිතන පුළුල් පරාසයක රෝග සඳහා ප්‍රතිකර්මයක් ලෙස අක්කපාන භාවිතා කළ හැකිය. නමුත් අප එයින් නිසි ප්‍රයෝජනය නොගන්නේ ඒ පිළිබද අපේ පරම්පරාවේ ඇති දැනුමෙහි මදකම නිසාය. පරම්පරාවෙන් පරම්පරාවට ගලා ආ අපේ දේශිය ඖෂධ පිළිබඳ දැනුම කිසියම් අවස්ථාවක පස පරම්පරාවට ගලා නොයෑම නිසා මතුවූ හිඩැස නිසා මේ තත්වය ඇතිව තිබේ. සුළු රෝග ලක්ෂණයකදී පවා ඉවසිමෙන් ප්‍රතිකර්මයක් කරනු වෙනුවට වහ වහා රෝහලක් වෙත යාමට වත්මන් පරපුර හුරුවි සිටී.
වෑංජනය, මැල්ලුම සම්බෝලය, කැඳ , තැම්බුම යනාදී වශයෙන් නොයෙක් ආකාරයෙන් ආහාරයට අක්කපාන ගුණ එක්කර ගත හැකිවුවත් එය කළ යුත්තේ අවම වශයෙන්. ගැබිණි මවුවරුන්ට එය සුදුසු නැහැ. අනෙක් අයද වැඩිමාවක් එක්කර ගැනීමේදී වෛද්‍ය උපදෙස් ඇතිව එසේ කිරීම නුවණට හුරු යි.
අක්කපාන වලින් අත් බෙහෙත්
විදුරුමස් පුපුරා දත් ඒමේදී ඇතිවන වේදනාවට – අක්කපාන කොළ තලා මීපැණි සමග ආලේප කිරීම, තුවාල සුවකිරීමට – කොළ එළඟිතෙල් සමග අඹරා බැඳීම, අකලට කෙස් පැසීම වැළකීමට – කොළ යුෂ තලතෙල් හා මිශ්‍ර කර හිසේ ගෑම, පිළිස්සුම් වේදනාවට – කොළ තලා ලබාගත් ද්‍රාවණය ආලේප කිරීම, තැලීම් ඉදිමීම් වේදනාවලට – කොළ තලාගත් තලපයට එළඟි තෙල් දමා රත්කර නිවුණු පසු ආලේප කිරීම.
ලිපිය සැකසුම -Indra Ratnay-
(මූලාශ්‍ර හා සේයාරූ -අන්තර්ජාලය හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)