පීනස සහ හිසරදය දුරුකරවන හිසකෙස් වඩවන, සම පැහැපත් කරවන, මුගුණුවැන්න මුල් කසාය සාදාගන්නා හැටි
2,254 Views

කතාකරන භාෂාවෙන් අප “මුකුණුවැන්න” ලෙස හැදින් වුවද මෙහි නිවැරදි නාමය වනුයේ “මුගුණුවැන්නය”. මෙවර ඖෂධීය ශාක යටතේ මුගුණුවැන්න ගැන කතා කිරීමට සිතුවේ තම පරිසරයෙන් ඉතාමත් පහසුවෙන් සොයා ගත හැකි ශාකයක් වුවද, බොහෝ දෙනා ආහාරය සදහා යොදා නොගන්නා බැවිනි.
මෙහි ඇති ඖෂධීය වටිනාකම කොතෙක්ද යන්න අවබෝධ කර ගැනීමෙන් දිනපතාම ආහාරයට මුගුණු වැන්න ගැනීමට සිතෙනු නොඅනුමානය. එහෙත් අවම වශයෙන් සතියකට දවස් තුනක් වත් ආහාරයට ගත යුතුය. එමගින් බොහෝ ලෙඩ රෝග වලින් මිදී නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම සම්පූර්ණ පැළෑටියම ඖෂධ සදහා භාවිතා කෙරේ.
මුගුණුවැන්න කෙතරම් ගුණදායකද ?
ඇස් වලට ගුණදායකය, ඇස් පෙනීම වර්ධනය කරයි. හිසකෙස් වඩවයි, පටක වල ගෙවී යාම අඩු කරයි. (හන්දි රෝග වලට ඉතාමත් හොද ඖෂධයකි) අකලට හිසකෙස් පැසීම, වැටීම නවතාලයි, හිසකෙස් කළු පැහැ ගන්වයි, ධාරණ ශක්තිය ලබා දෙයි, සිරුරේ ප්‍රතිශක්තිකරණයට උදව් කරයි. සම පැහැපත් කරයි. සමේ රෝග වලට සුදුසුයි. හොදින් මළ පිටවේ. ආහාර හොදින් දිරවයි, පිත සමනය කරයි, කිරි දෙන මවුවරුන් ගේ තණ කිරි වැඩි කරයි, රක්ත දූෂණය, දැවිල්ල, කුෂ්ට රෝග, පාණ්ඩු රෝග, වාත රක්තය නැති කරයි. අපස්මාරයට, සෙංගමාලයට ද හොදය. මුත්‍රා සමග ලේ සහ සැරව පිට වන විට මුත්‍රා දැවිල්ලටත් සුදුසුය. කුඩා ළමයින්ට කොළ කැද ඉතාමත් සුදුසු පානයකි. කැද ආකාරයෙන් පානය කිරීමේදී එය ශරීරයට උරා ගැනීම පහසු වේ. මුගුණුවැන්න ආහාරයට ගැනීමේදී මැල්ලුමක් විදියට පමණක් නොව කැද ආකාරයෙන් හෝ දලු තම්බා ද පානය කළ හැකිය.
මුගුණුවැන්න මගින් රෝග කිහිපයක් සදහා අත් බෙහෙත් සකස් කර ගන්නා ආකාරය
ඇදිරි වේලාවේ ඇස් පෙනීම අඩු අයට සහ හිස කැක්කුමට මුගුණුවැන්න කොළ තල තෙලෙන් අඹරා නළලේ ආලේප කරන්න. රාත්‍රියේ ඇස් පෙනීම දුර්වල අයට මෙම ශාකය කුමන ආකාරයෙන් හෝ පිස ගෙන ආහාරයට ලබා ගැනීමෙන් සහනයක් ලබා ගත හැකිය. හිසරදයට මුගුණුවැන්න දඩු ඉස්ම නස්න කිරීම, පීනසට මුගුණුවැන්න මුල් කසාය ගම් මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීම, සෙංගමාලය සදහා මුගුණුවැන්න පත්‍ර අමු නෙල්ලි අමු කහ සමග කොටා ලබා ගත් යුෂ වලට එළකිරි සහ මී පැණි දමා මිශ්‍ර කර පානය කරන්න.
මුත්‍රා දැවිල්ලට මුගුනුවැන්න මුල් පොල් කිරෙන් පිස ගෙන, මිරිකා යුෂ පානය කිරීම සුදුසුය. මුගුණුවැන්න තෙල් ඇස් දැවිල්ල, හිස දැවිල්ලට, මුඛයේ රෝග පමණක් නොව කට දිව පැලීමට ද භාවිතා කෙරේ. මෙහිදී තෙල් සාදා ගන්නේ මෙසේය.
මුගුණුවැන්න කොටා අඹරා කල්කයක් ආකාරයෙන් සකසා. එය තැඹිලි තෙල් සහිත බාජනයට දමා ලිප උඩ තබා, එහි ජලය ඉවත්වන තෙක් රත්කර ගත යුතුය. ඒ ආකාරයෙන් හොදින් රත් කර ගැනීමෙන් තෙල් ලබා ගැනීමට හැකිය.
දිව තොල් පැලීම, කට තුවාල වීම සදහා මුගුණුවැන්න කිරි හොදි ඉතාමත් ගුණදායකය. මෙම කිරි හොද්දට කෝමාරිකා ස්වල්පයක් ගෙන මිශ්‍ර කර භාවිතා කරන්න. එහි පිට පොත්ත සූරා අයින් කර කිරි හොද්දට මිශ්‍ර කරන්න.
මුගුණුවැන්න කපා, තුන පහ රතු ලූනු, ජලය මිශ්‍ර කර බාජනයකට දමා රත්කර, එයට පොල් කිරි දමා මිශ්‍ර කර ගැනීමෙන් මුගුණුවැන්න කිරිහොද්දක් සාදා ගත හැකිය. මුගුණුවැන්න කොළ කැද වල ධාතු වර්ධනය කිරීමේ ගුණය ද ඇත.
මුගුණුවැන්න වැනි තවත් ශාක
මුගුණුවැන්න වැනි වෙනත් ශාක ද දක්නට ලැබේ. ඒවා ඖෂධිමය ගුණයෙන් යුක්ත වන්නේ නැත. ඒ නිසා නියම මුකුණුවැන්න ශාකය තෝරා ගැනීම ප්‍රවේශමෙන් සිදු කළ යුතුව තිබේ.
නියම මුගුණුවැන්න ශාකයේ තැනින් තැන මල් සමග ගැට, පුරුක් දක්නට ලැබේ. සමහර වර්ග වල ඒ ආකාරයෙන් පුරුක් පිහිටා නැත. දණ්ඩ දිගට විහිදී ගොස් ඇති අතර පත්‍ර පමණක් දක්නට ලැබේ. මෙවන් පත්‍ර මුගුනුවැන්න යැයි රැවටී ආහාරය සදහා ලබා ගන්න එපා. මුගුණුවැන්න ආහාරයට සකසා ගැනීමේදී ලුණු වතුරට දෙහි ඇඹුල් ස්වල්පයක් දමා සොදා ගත යුතු අතර, අමුවෙන් ආහාරයට ලබා ගැනීමේදී ප්‍රවේශම් වීම අත්‍යාවශ්‍යය. සම්බෝලයක් ආකාරයට සාදා ගන්නේනම් දෙහි ඇඹුල් මිශ්‍ර කර ගැනීම අත්‍යවශ්‍ය වේ. කිරි හොද්දට වුවද දෙහි ඇඹුල් ස්වල්පයක් මිශ්‍ර කිරීම ඉතාමත් සුදුසුය. එයට හේතුව වනුයේ එමගින් ජීර්ණය වීම පහසු කිරීමයි.