කෙට්ටු අයට, සතියෙන් මහත් වෙන්න ‘තල’ ආහාරයට ගන්න
5,111 Views
තල කියන්නෙ බොහෝ දෙනෙක් දන්නා හඳුනන අපේ දේශීය ඖෂධයක්. ඒ වගේම රසවත් ආහාරයක්. දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙ තල තරමට කතා කරන ඖෂධයක් තවත් නැති තරම්. සොබාදහමින් අපට ලැබුණු අගනා දායාදයක් තමයි තල. ධාන්‍ය වර්ගයක් වන තල පූජනීය ධාන්‍ය වර්ගයක් ලෙසත් ප්‍රචලිතයි.
හින්දු යාග හෝමවලදී මේ ඖෂධය පූජනීය ලෙසින් භාවිත කරනවා. ඒ වගේම මඟුල් පෝරුව සරසන අවස්ථාවෙත් මේ පූජනීය ධාන්‍ය වර්ගය භාවිත කරනවා. ඒ නිසාම තල හෝම ධාන්‍ය ලෙසත් හඳුන්වනවා. සියලු පව් නැසීමට උදව් කරන්න යන අරුතින් පාපග්න කියලත් මෙම ඔෟෂධය හඳුන්වනවා. දේශීයව නිපදවන තෛල වර්ග අතර තල තෙල් ඉතා සුවිශේෂයි. ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් අන්දමට මෙය ස්වේදෝත්ප්රග ද්‍රව්‍යයක්.
ඒ කියන්නේ දහදිය ඇති කරවන ද්‍රව්‍යයක්. රසායන හා වාජීකරණ ඖෂධයක් ලෙස හැඳින්වේ. තල සංස්කෘත භාෂාවට අනුව තල හඳුන්වන්නේ ‘තිල’ වශයෙන්. පුංචි පැළෑටියක්. ශ්‍රී ලංකාවේ හේන් ආශි‍්‍රතවයි මෙය දැකිය හැක්කේ. වියළි කලාපයේ බහුලව දකින්නට ලැබෙනවා. සුදු සහ රෝස පැහැති දම් පැහැයකින් සමන්විත තල මල ගොඩක් ලස්සනයි. සෙන්ටිමීටර් 30ක් පමණ උසට වැඩෙන තල වර්ග ප්‍රභේද 3ක් යටතේ නම් කර තිබෙනවා.
ඒ තමයි කෘෂ්ණ (කළු), ස්වේත (සුදු) හා රක්ත (රතු) කියන තල වර්ග තුන. ඖෂධ නිපදවීමට කළු තල තමයි භාවිත කරන්නේ. ඒ වගේම තල තෙල් ගැනීමේදී ඒ සඳහා භාවිත කරන්නේ සුදු තල හෙවත් ස්වේත තල. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ විවිධ රෝග සුව කිරීම සඳහා තල ඇටවලින් ගන්නා තෙල්, ඇට, තල මල්, දඬු යන සම්පූර්ණ පැළෑටියම ගන්නවා. තල ඇටවල විටමින් ඒ, බී වැනි පෝෂ්‍ය පදාර්ථ වගේම ප්‍රතිඔක්සිකාරක ගුණයත් පවතිනවා. ඒ නිසාම තල ආශි‍්‍රත ඖෂධ රෝග රැසකට සුවය ගෙනදීමට සුදුසුයි.බොහොමයක් ඔෟෂධ සඳහා ඔලිව් තෙල් මිශ්‍ර කරල ප්‍රතිකාර කරනවා. ඔලිව් තෙල් නැති අවස්ථාවක ඒ වෙනුවට තල තෙල් යොදා ගන්නත් පුළුවන්. තල ඇට සෙක්කුවකට දමා හොඳින් කොටා ඉන්පසුවයි තල තෙල් නිපදවන්නේ.
ඇතැම් කුඩා දරුවන්ගේ ගුද මාර්ගය ලිහිල්ව පවතිනවා. එම රෝගයේ නම ගුදබුංශ රෝගය. එවන් අවස්ථාවලදී තල දඬු කෂාය දින දහයක් වගේ දරුවට උදේ හවස බොන්න දුන්නොත් එම තත්ත්වය සාමාන්‍ය අතට හැරෙනවා. තල ඇට ස්වල්පයක් අරගෙන සෝදා, ගරා, වියළාගෙන, උක් හකුරු සමඟ කොටා, ගුළි ලෙස තල බෝල හදා ඒවා වරින් වර ආහාරයට ගන්න. එය තිල කූඨ ලෙසයි හඳුන්වන්නේ. කෙට්ටු අයට මහත් වෙන්න මෙය වටිනා ඖෂධයක්. තල තෙල් කියන්නේ හිසකේ වර්ධනයට සුදුසුම තෛලයක්. කළු කෙස් කලඹකට, කෙස් වැඩීමට, හිසකේ අකලට පැසීම නැවතීමට තල තෙල් හොඳයි. එය හිසේ ආලේප කිරීම පමණයි කළ යුත්තේ.
ඒ වගේම දරුවන් බිහි කළ මවුවරුන්ගේ කිරි වර්ධනය කරන්න තල ඇට, උක් හකුරු හා එක්කර ආහාරයට ගැනීමෙන් පුළුවන්.සමේ ආසාදනවලදී, තුවාලවලදී, කුෂ්ඨ රෝගවලදී ඒවා සුව කරන්න තල දඬු කොටා ගත් සාරයෙන් පුළුවන්. එය ඇඟේ ආලේප කිරීම පමණයි කළ යුත්තේ. ඒ වගේම තල දඬු අරගෙන කොටා හොඳින් වියළා ඒ දඬු මැටි බඳුනකට දමා තවත් මැටි බඳුනකින් වසා ළිපේ තබා කර කරන්න. ඉන්පසු අළු පදමට පිච්චී ගිය තල දඬු කොටා කුඩුකර ඒ කුඩු වතුර වීදුරුවකට දමා ගන්න. ඒ ද්‍රාවණය මඳ වේලාවක් නිසොල්මන්ව තබා ජලය පෙරා වීදුරුවේ පතුලේ මිදෙන ඖෂධ ශ්‍රාවය යළිත් වියළා අරගෙන ඒ තල ශ්‍රාවය තුවාලවල ආලේප කරන්න. මෙය ඉතාම ගුණදායක ඖෂධයක්.
කල් ගතවී සුව නොවන තුවාලවලට ගාන්නට සුදුසු ඔසුවක් තල සම්පාදිතව සාදාගන්න පුළුවන්. කළු තල, වියළි කහ, වෙනිවැල්ගැට, වැල්මී, තිරත්තවාලු මුල්, කොහොඹ කොළ සමව ගෙන අඹරා සහිඳලුණු, එළඟිතෙල් හා මිශ්‍ර කර තුවාලය මත ආලේප කරන්න. දින 3ක් පමණ මෙය හරියට කළොත් ඉක්මනින් තුවාලය සුව වේවි.අද අපේ පිරිමි පාර්ශ්වයේ ඇතැම් අයට පීඩා ගෙන දෙන ගැටලුවක් තමයි රැවුල, හිසකේ උඳුගොව්වන් කෑම. එය පෞරුෂ වර්ධනයටත් බාධාවක්. එවන් අවදානම් තත්ත්ව මඟහරින්න හොඳ ඔෟෂධයක් සාදාගන්නා හැටි මම කියන්නම්. ගොකටු (හීන් එරෙච්චි), තල මල්, එළඟිතෙල්, මීපැණි හා සමව ගෙන අඹරා දිනකට දෙවරක් උඳුගොව්වන් කන තැන ආලේප කරන්න. සතියක් පමණ මෙය සිදුකළොත් උඳුගොව්වා කෑම නතර වී අදාළ ස්ථානයේ රෝම කූප වැඩෙනවා.
දරුණු හිසරදයක් වැලඳුණු අවස්ථාවකදී තල ඇට ස්වල්පයක් අරගෙන එළකිරෙන් අඹරා පැලැස්තරයක ඒ ද්‍රාවණය ආලේප කර නළලේ අතුරන්න. ඉක්මනින් හිස රුදාව සුව වේවි. ඇතැම් පුද්ගලයන්ගේ සම ඉතා වියළියි. එය ඇත්තටම ගැටලුවක්. වියළි සම දුරු කර සමට යම් තෙතමනයක් ලබාදීමට තල තෙල් හොඳ ඔෟෂධයක්. සතියට දෙවරක් තල තෙල් සමේ ගා හොඳින් පිරිමදින්න. (සම්බාහනය කරන්න.) ගොඩක් අය තල තෙල් ශරීරයේ ගා අව්වේ යනවා. එවිට සම කළු වෙනවා. මෙහිදී සිතට ගත යුතුයි. කිසිම තෙල් වර්ගයක් සමේ ගෑ පසු එය සෝදනකල් අව්වේ යන්න එපා. සම කළු වෙනවා. තල තෙල් ශරීරයේ ගා පැය දෙකක් නිදහසේ ගෙට වෙලා ඉන්න. ඉන්පසු උණු වතුරින් සිරුර සෝදන්න. මෙය සතියට දෙවරක් කරන්න. සති කිහිපයකින් වියළි සම වෙනුවට තෙතමනය සහිත සමක් ඔබට ලැබේවි.
තල ඇටවලින් සාදාගත් තලපය තුවාලවල ආලේප කරන්න පුළුවන් නම් තුවාල ඉක්මනින් සුව වෙනවා. තල ඇට ස්වල්පයක්, එළඟිතෙල් හා අඹරා තුවාලවල සහ අර්ශස් ඇති අයගේ අර්ශස් තුවාලවල ගානවා නම් ඉක්මනින් සුවපත් වෙනවා. ඒ වගේම තල මුල් සහ තල කොළවලින් කසායක් සාදා හිස සෝදනවා නම් හිස්හොරි කරදරයෙන් මිදෙන්නත් පුළුවන්. සිනිදු, කළු, දිගු කෙස් කලඹක් ලබන්නත් පුළුවන්. නිතර නිතර තල ඇට හපනවා නම් දත් සවිමත් වෙනවා. විදුරුමස් ශක්තිමත් වෙනවා. දත් නරක් වීම නතර වෙනවා. සෙම් ගෙඩි, දුගඳ පවා නැති කරන්න එය ඉතා වැදගත්.
අපේ දේශීය ආයුර්වේදයේ නිතර කතා වෙන පංචකර්ම චිකිත්සාවේදී විවිධ අවස්ථාවලදී තල භාවිත කරනවා. වස්තිකර්ම, නස්නකර්මවලදීත් තල අත්‍යවශ්‍යයි. සන්ධි වේදනා, හන්දි ඉදිමුම් වගේ ශරීර වේදනාවලදී සාදික්කා තෙල් සමඟ තල තෙල් මිශ්‍ර කර ආලේප කරන්න. ඉදිමුම බහිනවා වගේම වේදනාවත් නැති වෙනවා. පක්ෂාගාතය හෙවත් අංශභාගය රෝගයෙන් පීඩා විඳින අය තල තෙල් ගානවා නම් ඉතාම සුවදායකයි. තල තෙල් කියන්නේ ආයුර්වේදයේ ප්‍රධාන චිකිත්සා සඳහා භාවිත කරන ප්‍රධාන තෛලයක්. බොහෝ තෙල්වල තල ශ්‍රාවයත් අන්තර්ගතයි. ර්ණීර්ථීච් මට්ටමේ පවතින තෙල් 99%කම තල තෙල් අන්තර්ගතයි.
අර්ශස්වලදී රුධිරය අධික ලෙස පිටවෙනවා නම් තල ඇට කොටා තලපය සේ හදාගෙන එළඟිතෙල් හෝ බටර් හා ආහාරයට ගන්න. ඉතාම ගුණදායක ඔසුවක්. අම්ල පිත්ත රෝගයෙන් පෙළෙන අයට කාපු ගමන් නොදිරවා මල ලෙස පිටවෙනවා. එවන් අයට තල ඇට කුඩු කර සූකිරි හා ආහාරයට දෙන්න. ඉතාම රසවත්, ගුණවත් ඖෂධීය ආහාරයක් එය.
සමිත් මධුරංග
Source