කැස්ස, ඇදුම, නිට්ටාවටම සුව කරන කිරි අගුණ කොළ
4,876 Views
පැරණි අපේ මුතුන්මිත්තෝ විවිධ පලා වර්ග ආහාර වශයෙන් වගේම අත්බෙහෙත් වශයෙනුත් භාවිත කළා. විවිධ රෝගාබාධ සඳහා විවිධාකාරයෙන් පලා වර්ග භාවිත කරන අයුරු ඔවුන් හොඳින් දැන සිටියා. මෙම පලා වර්ගවල ගුණ අගුණ සහ ඒවා භාවිත කළ යුතු ආකාරය ඔවුන් හොඳින් දැන සිටියා. නිරෝගී පැවැත්මක් උදෙසා පලා වර්ග වගේම අත් බෙහෙත් භාවිත කළ යුතු ආකාරයත් රෝගී වීමෙන් පසුව එවැනි බෙහෙත් භාවිත කළ යුතු මාත්‍රාවත් පැරැන්නෝ පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආ වට්ටෝරු විදිහට සලකන්න පුළුවන්. ඔවුන් ඒ පිළිබඳව හොඳ අවබෝධයෙන් ජීවත් වී ඇති බව අප දන්නවා.
එහෙත් වර්තමානය වන විට මෙම බෙහෙත් වට්ටෝරු සහ පලා වර්ග භාවිතය අවම වීමත් සමග බෝ නොවන ලෙඩ රෝග ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. අද සමාජයේ බොහෝදෙනා දියවැඩියාව, අධි රුධිර පීඩනය, අර්ශස් රෝගය වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වෙමින් සිටිනවා. නමුත් පැරැන්නෝ මෙම රෝගවලින් ආරක්ෂා වී සිටියේ ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ උචිත ආහාර රටාව සහ පලා වර්ගවලින් සමන්විත ආහාර වැඩිපුර ගැනීම නිසයි.
අප අද සලකා බලන්නේ එවැනි රෝගවලින් මිදීමට වගේම එවැනි බොහෝ රෝගවලට ප්‍රතිකාරයක් ලෙස උපයෝගි කොටගත හැකි කිරිඅඟුණ පැළෑටිය පිළිබඳවයි. ඒ පිළිබඳව අපට තොරතුරු සැපයුවේ කඳුබොඩ ආයුර්වේද රෝහලේ ආයුර්වේද වෛද්‍ය මංගලිකා කුමාරපේලි මහත්මියයි.
කිරිඅඟුණ ශාකය ගෙවත්තේ හෝ මල් පෝච්චියක වුවද ඉතා පහසුවෙන් වවාගත හැකියි. කිරිඅඟුණ අමුවෙන්ම ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ විශේෂිත ශාකයක්. අනෙකුත් බහුලව භාවිත කරන පලා වර්ග හා සසඳා බලන විට කිරිඅඟුණවල කැල්සියම්, පොස්පරස් හා යකඩ ඉහළ ප්‍රතිශතයක් තිබෙනවා. ඊට අමතරව කිරිඅඟුණවල විටමින් ‘ඒ’ සාදනු ලබන බිටා කැරොටින් පදාර්ථයද ඉතා ඉහළ අගයකින් අඩංගු වෙනවා.
අලුත උපන් දරුවකුට මේ ලෝකේ ඇති සුදුසුම හා ලැබිය යුතු එකම ආහාරය වන්නේ මව්කිරි. නමුත් අවාසනාවකට මෙන් අද සමාජයේ බොහෝ මව්වරුන් දරු ප්‍රසූතියෙන් පසු මව්කිරි හිඟ තත්ත්වයකට පත්වෙනවා. තවත් විටෙක ප්‍රමාණවත් තරම් දරුවාට මව්කිරි දුන්නත් දරුවා කිරි බිමෙන් පසු වෙනත් අපහසුතාවලට ලක්වන අවස්ථා දකින්නට පුළුවන්.
එවිට දරුවා කිරි බිමෙන් පසු බඩ පුරවා දැමීම, කිරි වමනය, මල පිටවීමේ වෙනස්කම්, අජීරණ තත්ත්වයන් වැනි තත්ත්වයන් දක්නට ලැබෙනවා. මේ වගේ අවස්ථාවලදී කිරිඅඟුණ මැල්ලුමක් ලෙස මවට ලබාදිය හැකි ප්‍රබල ප්‍රතිකාරයක්. දරු ප්‍රසූතියට පෙර ගර්භණී කාලයේ ඇතිවන මලබද්ධයට පිළියමක් ලෙසද මෙම ඖෂධය භාවිත කළ හැකිය.
ලෙඩ රෝග සඳහා නොවූවත් නිරෝගී පැවැත්මක් උදෙසා කිරිඅඟුණ විවිධාකාරයෙන් භාවිතයට ගත හැකියි. කිරිඅඟුණ සලාදයක් වශයෙන් ආහාරයට ගැනීම ඉතා හොඳ ක්‍රමයක්. අපි බලමු කිරිඅඟුණ සලාදයක් සකස් කරගන්නේ කෙසේද කියා. ඒ සඳහා අපට සෝදා පිරිසිදු කරගත් කිරිඅඟුණ කොළ මිටක්, ප්‍රමාණවත් තරම් ගාගත් පොල්, අමු මිරිස් කරලක්, රතු ලූනු ගෙඩි තුන හතරක්, අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ දෙහි, ගින්දරට අල්ලා පුලුස්සා ගන්නා ලද වියළි මිරිස් කරල් දෙකක් සහ අවශ්‍ය නම් පමණක් උම්බලකඩ යෙදිය හැකියි.
සකස් කරගන්නා පිළිවෙළ
කිරිඅඟුණ කොළ ටික හීනියට ලියාගෙන ගාගත් පොල්, කපාගත් රතු ලූනු, අමු මිරිස්, උම්බලකඩ එකතු කරන්න. අවසානයේ ලුණු හා දෙහි ප්‍රමාණවත් තරම් දමා මිශ්‍රකර පුලුස්සාගත් මිරිස් කරල කෑලි කඩා උඩින් ඉසින්න.මේ ආකාරයට අඟුණ කොළ මැල්ලුමක්ද සකස් කරගන්නා ආකාරය කෙටියෙන් සලකා බලමු. පෙර පරිදිම සකස් කරගන්නා අඟුණ කොළ හීනියට ලියා අවශ්‍ය තරම් ගාගන්නා ලද පොල්, කහ කුඩු ස්වල්පයක්, කුරුඳු කුඩු ස්වල්පයක් එක්කර එයට රතු ලූනු ගෙඩි තුන හතරක්, අමු මිරිස් කරලක් හීනියට කපා දමන්න. ප්‍රමාණවත් තරම් ලුණු කුඩු දමා සියල්ල හොඳින් මිශ්‍රකර මැටි ඇතිලියක් ළිප තබා කොළ පැහැය ආරක්ෂා වන සේ මලවා ගන්න. ළිපෙන් බාගත් පසු දෙහි ඉස්ම ස්වල්පයක් එක් කරන්න.
මේ ආකාරයට කිරිඅඟුණ කොළවලින් ව්‍යාංජනයක්ද සාදා ආහාරයට ගත හැකියි. කිරිඅඟුණ ව්‍යාංජනය සකස් කරගන්නා ආකාරය බලමු. පිරිසිදුව සකස් කරගත් කිරිඅඟුණ කොළ ටික තුනට හතරට කඩා පැත්තකින් තබාගන්න. කලින් සකස් කරගත් මිටි කිරි, රතු ලූනු, සුදු ලූනු, අමු මිරිස්, කුරුඳු කැබැල්ලක්, කරපිංචා ටිකක්, ප්‍රමාණවත් තරම් උළුහාල් ඇට කිහිපයක්, ගොරකා කැබැල්ලක් සහ ලුණු හොඳින් මිශ්‍රකර ළිප තබා තම්බා ගන්න. එය හොඳින් තැම්බෙන විට කඩාගත් කොළ ටික හොද්දට මිශ්‍රකර තරමක් රන්වන් වනවිට ළිපෙන් බාගන්න.
කිරි අඟුණ කිරිදෙන මව්වරුන්ගේ කිරි වැඩිකරන ඖෂධයකි. එය විෂ නාශකයක් ද වේ. ළදරුවන්ගේ පණු රෝග හා උණ ආදියට කිරි අගුණ දලු යෙදූ ඖෂධ භාවිත කෙරේ. බිළිදු දරුවන් සිටින මව්වරුන්ගේ කිරි හා රුධිරය පිරිසිදු කිරීම සඳහා කිරි අඟුණ කොළ ක්ෂාය කොට දෙනු ලැබේ. බුද්ධරාජ කල්කය හා බාලකුමාර තෛලය යන ඖෂධ සෑදීම සඳහා කිරි අඟුණ විශේෂයෙන්ම භාවිත කෙරේ. අගුණ විශේෂ සියල්ල ම මධුරයි. පිත පහ කරයි. විෂ හා ජවර නසයි.
මේ ලෙසටම කිරිඅඟුණ වැල්වල කරල්ද ව්‍යාංජනයක් ලෙස සකස් කරගත හැකියි. එම කරල්වල අන්තර්ගත තිත්ත රසය සකස් කිරීමේදී ඉවත් වී යයි.කිරිඅඟුණ කොළ ඉහත ආකාරයන්ට අනුව සකස් කර සතියට තුන් වතාවක් ආහාරයට ගැනීමෙන් අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලට ඉතාමත් සුදුසු වේ. එවැනි රෝග පාලනය කිරීම සඳහාද කිරිඅඟුණ කොළවලින් සකස් කළ ආහාර ඉතා ප්‍රයෝජනවත් වෙයි.
කිරිඅඟුණ ශාකයේ තවත් ප්‍රයෝජන කිහිපයක් සලකා බැලුවහොත් කැස්ස, ඇදුම වැනි රෝග සහ පහසුවෙන් ගැලවී නොයන සෙම රෝගය සඳහා කිරිඅඟුණ ඉතා හොඳ අත්බෙහෙතකි. ඒ සඳහා පහසුවෙන් ගෙදරදීම සාදාගත හැකි අත් බෙහෙතක් සාදාගන්නා ආකාරය සලකා බලමු.
කිරිඅඟුණ දලු, ඔළිඳ දලු, පාවට්ටා දලු සමව ගෙන අමු ඉඟුරු ස්වල්පයක් දමා එකට කොටා වණ්ඩුවේ තම්බා ගන්න. එසේ තම්බාගත් මිශ්‍රණය හොඳින් මිරිකා එහි යුෂවලට සීනි, මීපැණි දමා මේස හැඳි එක බැගින් වරින් වර බිමට දීම හොඳම අත්බෙහෙතකි. මෙය ළදරුවන්ට වරකට තේ හැඳි එකක් හෝ දෙකක් ප්‍රමාණවත් වෙයි.
ගම්බද ප්‍රදේශවල නිතරම වගේ විවිධ සර්පයන් දෂ්ට කිරීමෙන් ඇතිවන හදිසි තත්ත්වවලදී ප්‍රථමාධාර වශයෙන් කිරි අඟුණ මුල් දෙහි ඇඹුලින් අඹරා ගෑම සිදු කරයි. කිරිඅඟුණ කොළ කැඳ සර්ප විෂට සහ මී විෂට ඉතාමත් ගුණදායක වෙයි.
කිරිඅඟුණ කොළ කැඳ සාදාගන්නා ආකාරය සලකා බලමු.කැකුළු හාල් මිටක් පමණ සෝදා වතුර වැඩිපුර යොදා ළිප තබන්න. පිරිසිදු කරගත් කිරිඅඟුණ කොළ මිටක් හා එයට අවශ්‍ය තරම් ගාගත් පොල්, සුදු ලූනු බික් එකක්, අමු ඉඟුරු කැබැල්ලක් සමග හොඳින් අඹරා මිරිකා යුෂ ගන්න. කැඳ බත සහ කොළ යුෂ මිශ්‍රකර ලුණු රහිතව හොඳින් රත්වූ පසු කැඳ ළිපෙන් ඉවත්කර ගන්න.
නිතරම වාගේ නිවෙස්වල ඇති කරන බල්ලන් සපාකෑම සිදුවේ. එවැනි අවස්ථාවලට සහ සර්ප දෂ්ට කිරීම් ස්ථානයේ ගෑමට ඖෂධ සකස් කරගන්නා ආකාරය සලකා බලමු. ඒ සඳහා අමු කහ කැබැල්ලක්, කිරිඅඟුණ කොළ මිටක්, තුඹ කරවිල අල සම ප්‍රමාණයන් ගෙන කොටා, මිරිකා යුෂ ගෙන රත්කර බල්ලා සපා කෑ තුවාලයේ හෝ සර්ප දෂ්ට ස්ථානයේ ආලේප කරන්න. තවද විෂ ශරීරගත වූ විට කිරිඅඟුණ හා කරංපිචා කොළ සම්බෝලය ආහාරයට ගැනීම ඉතා සුදුසු වෙයි.
කනේරු කෑම නිසා ඇතිවන විෂ ලක්ෂණ පහළ වන විට එනම් වමනය, බඩේ කැක්කුම, හුස්ම ගැනීම වේගවත් වීම වැනි අවස්ථාවලදී ප්‍රථමාධාරයක් වශයෙන් කිරිඅඟුණ වැලෙන් ඖෂධයක් සකස් කරගත හැකිය. කිරිඅඟුණ කොළ සහ මුලත්, ආඩතෝඩ කොළ, රතු ලූනු කොටා මිරිකා රත්කර බිමට දීමෙන් කනේරු විෂ නැසිය හැකි වෙයි. කැඩුම් බිඳුම් සහ අවහන්දි වීම් සිදුවන අවස්ථාවල හෝ තැළුම් සිදුවූ අවස්ථාවල ඒ සඳහා ගෙදරදීම පහසුවෙන් කිරිඅඟුණ යොදා තෙලක් සාදාගත හැකිය. මේ සඳහා කිරිඅඟුණ කොළ, පැපොල් කොළ සමග පොල් කොටා මිරිකාගත් යුෂවලට අසමෝදගම්, පල්මානික්කම්, වද කහ සහ කළුදුරු සම ප්‍රමාණයෙන් කුඩුකර දමා මඳ අව්වේ වියළා සිඳගත් තෙල් භාවිත කළ හැකිය.
ආයුර්වේද වෛද්‍ය මංගලිකා කුමාරපේලි
නෙරංජලා වික්‍රමසිංහ