රටම ලෙඩ කරවන හොර පාරෙන් අලෙවිවෙන තෙල් වර්ග ගැන හරියටම දැනගන්න
1,214 Views

සේවය නිමකර නිවෙස් බලා යන බොහෝ දෙනෙකු දූ දරුවන්ට සහ නිවසේ සිටිනා අයට කුමක් හෝ රසකැවිලි විශේෂයක් රැගෙන යාම අතීතයේ සිට පැවැති සම්ප්රදායකි. එහෙත් එකී සම්ප්රදාය අද වන විට මුළුමනින්ම වෙනස්ව ඇත්තේය. අද සිය මව පියා නිවසින් පිටතට යන විට බහතෝරන වියේ පසුවන පොඩිත්තන් පවා ඉල්ලනුයේ බයිට්, රෝල්ස්, කට්ලට් වැනි යමක් රැගෙන එන ලෙසය. සැබැවින්ම මේ ඉල්ලීම කරනුයේ කුඩා දරුවන් පමණක් නොවේ. ළමා විය ගෙවා නව යොවුන් වියට එළැඹෙන දරුවන් වැඩිහිටියන් වැනි සියලු තරාතිරම්වල අය අද ඉල්ලන්නේ තෙලෙන් බැදි කටට සැර දේවල්ය. සැකැවින් පවසතොත් අද මුළු රටම හොට් ඇන්ඩ් ස්පයිසි රසට ලොල් වී අවසානය.
එහෙත් මෙකී හොට් ඇන්ට් ස්පයිසි රසය යට සැඟවුණ මාරයෙක් වෙයි. ඒ මාරයා සැඟව සිටිනුයේ වඩේ, රෝල්ස්, බයිට් බදිනා තාච්චියේය. නැතහොත් ගැඹුරු තෙල් බදිනයේය. ඒ මාරයා අන් කිසිවෙක් නොව වරක් භාවිත කරන ලද තෙල්ය.වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉවුම් පිහුම් කටයුතු සඳහා වැඩි පුරම යොදාගනුයේ පාම් තෙල්ය. ඊළඟට පොල් තෙල්, එළවළු තෙල් දෙකය. මේ කොයි තෙලත් භාවිත කළ යුත්තේ එක වරකි. එහෙත් වර්තමානයේදී වරක් භාවිත කරන තෙල් ඉවත ලන්නේ නැත. ඒවා අලුත් තෙල් සේ අසුරා නව බහාලුම්වල දමා වෙළෙඳ පොළේ කුණු කොල්ලයට අලෙවි වන්නේය.
වරක් භාවිත කළ තෙල් දෙවනවරට භාවිත කිරීමේදී සිදුවන රසායනික විපර්යාසය මිනිස් සිරුරට හානිදායකය. එබැවින් තරුපන්තියේ හෝටල් සුපිරි අවන් හල් ආදිය වරක් භාවිත කළ තෙල් මොනම හේතුවක් නිසාවත් දෙවනවරට භාවිත කරන්නේ නැත. ඒවා වෙනත් ගැනුම්කරුවකුට විකුණා දමන්නේය.
මෙලෙස අලෙවි වන වරක් භාවිත කළ පොල්තෙල් කූඨ ව්‍යාපාරිකයන් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම තෙල් වර්ග තරු පන්තියේ හෝටල් භාවිතා කර ඉවත් කළ තෙල් වර්ග වේ. ඒවා වෙළෙඳ පොළට පැමිණෙන්නේ බොහෝ විට සුළු හා මහා පරිමාණ ව්‍යාපාරිකයන් හරහාය. මෙම තෙල් වර්ගවලට හොඳම ගැනුම්කරුවන්ව ඇත්තේ කුඩා පරිමාණ ආහාර වෙළෙඳ සල් හා ඉතා අඩු මිලට කෑම වර්ග ලබා දෙන ස්ථානයන්ය. ඔවුහු සිය ලාභය උපරිම ලෙස පවත්වාගෙන යෑමට වරක් භාවිත කළ තෙල් ඉත සිතින් මිලට ගනිති.
අපේ රටේ පොල්තෙල් තත්ත්වයෙන් බාලයි. විශේෂයෙන් මේ තෙල් වර්ග ගබඩා කිරීමේදී කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ. ඒ වාගේම හොඳ ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් වර්ගවල මිල ඉතා අධිකයි. බොහෝ විට ලාභයට ආහාර සපයන වෙළෙඳසල්වලට මෙලෙස මිල අධික පොල්තෙල් මිලදී ගැනීමට බෑ. ඔවුන් ඊට විකල්පයක් ලෙස භාවිතා කරන්නේ තරු පන්තියේ හෝටල් භාවිතා කර ඉවත් කරන තෙල් වර්ගයි. ඒවා ඔවුනට ඉතා අඩු මිලකට ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
මෙලෙස හොර පාරෙන් අලෙවිවෙන තෙල් වර්ග බොහෝ විට භාවිත කරන්නේ බයිට් වර්ග බදිනු පිණිසය. ඊට අමතරව රුපියල් දහයට විස්සට කෙටි කෑම වර්ග ලබා දෙන වෙළෙඳුන්ද මෙම තෙල් භාවිත කරති. ඔවුනට මෙම තෙල් වර්ග භාවිතා කිරීමෙන් එම කෑම වර්ග එවැනි මිලකට ලබාදීමේ හැකියාව පවතියි.
අසේල සම්පත් පවසන ආකාරයට මෙම පිරිසට අමතරව තවත් පිරිසක් මෙම තෙල් වර්ග භාවිත කරති. ඒ ඇතැම් රාජ්‍ය ආයතන හා විශ්වවිද්‍යාලවල සුබ සාධන ආපනශාලා පවත්වා ගෙන යන පිරිසයි.මම ඇස් දෙකෙන් දැකලා තිබෙනවා රාජ්‍ය ආයතනවල කැන්ටින්වල මෙවැනි වරක් භාවිත කළ පොල්තෙල් වර්ග භාවිත කරනවා.
මෙම තෙල් ජාවාරම ජයටම කරන්නේ බෝතල් පත්තර එකතු කරන්නන් බව පැවැසේ. ඔවුන් තරුපන්තියේ හෝටල්වලින් මෙම තෙල් මිලට ගන්නේ සබන් සෑදීමට යැයි පවසාය. එසේම ඇතැම් පොල්තෙල් ප්‍රවාහනය කරන්නෝද මෙම වරක් භාවිත කරන ලද තෙල් ජාවාරමේ නිරතව සිටිති. තරු පන්තියේ හෝටල්වල සම්මත උෂ්ණත්වයක් යටතේ භාවිත කරන බැවින් මෙම තෙල් වර්ග බැලූ බැල්මට අලුත් ඒවා මෙන් දිස්වෙයි.
එසේම මෙම තෙල් නුවර, කෑගල්ල, පුත්තලම, රත්නපුර හා කුරුණෑගල වැනි ප්‍රදේශවල බෙදා හැරීම සිදු කර ඇති බව ද අනාවරණය කරගෙන තිබේ. මෙම තෙල් භාවිත කිරීම මගින් පිළිකා ඇති වන බවට සමාජයේ මතයක් පවතී. ගැඹුරු තෙලෙහි බැදීමට ගන්නා තෙල් වර්ග නැවත නැවත භාවිත කිරීම කිසිසේත් සුදුසු නැහැ. මෙවැනි තෙල් භාවිතා කිරීම මගින් අග්න්‍යාසයේ, පිත්තාශයේ, පිත්ත නාලවල හා කුඩා බඩවැල්වල ආසාදන ඇතිවෙනවා. ඒ වාගේම මේ තුළින් පිළිකා ඇති විමේ අවදානමක් තිබෙනවා.
වරක් භාවිත කළ තෙල් නැවත භාවිත කිරීම වෙළෙඳසල්වල පමණක් නොව බොහෝ ගෘහණියන් අතින්ද සිදු වේ. වරක් පපඩම් බැදීමට ගත් පොල්තෙල් වසා තබා දින කීපයකින් නැවත කුමක් හෝ දෙයක් බැදීමට ඇතැම් ගෘහණියෝ පුරුදුව සිටිති. එයද යහපත් ක්‍රියාවක් නොවේ.
පොල්තෙල් අධික උෂ්ණත්වයට ලක්වීමෙන් එහි ලිපිඩ සංයුතියේ වෙනස් වීම් සිදු වෙනවා. නැවත නැවත මේ තෙල් භාවිතා කිරීම තුළින් රාසායනික විපර්යාස ඇති වෙනවා. මේවා ශරීරයට අහිතකරයි. මේ තුළින් රුධිර පරිවහනයේ ගැටලු ඇතිවෙනවා. ස්ථුලභාවය ඇති වෙනවා. කොලෙස්ටරෝල් ඇති වෙනවා. මේවා වැඩිවෙනවා කියන්නේ හෘදයාබාධ මෙන්ම පිළිකාවලට අත වැනීමක්.
වෛද්‍යවරුන් අවධාරණය කරන ආකාරයට පොල්තෙල් මෙන්ම විවිධ තෙල් වර්ග නැවත නැවත භාවිතය කිසිසේත් සුදුසු නොවෙයි. එම නිසා ජාවාරම්කරුවන්ගේ තෙල් වර්ග භාවිතා කර බදින ලද ආහාර ගැනීමෙන් වැළකී සිටීම වඩාත් වැදගත් වෙයි. විශේෂයෙන් මහමග අයිනේ ඇති වඩේ සහ අතුරු කෑම (short-eats) කෑම බදින ජංගම වෙළෙඳ රථවලින් ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතුය. ඉතා ලාබදායී ලෙස අලෙවිවන කෙටි ආහාර ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමෙන් මේ තත්ත්වයට ගොදුරු නොවී සිටිය හැකිය. එසේම ගෘහණියන් වශයෙන්ද අපටද වගකීමක් ඇත. එනම් එක්වරක් බදින ලද තෙල් වර්ග භාවිතා නොකර සිටීමයි. එය අපට මෙන්ම අපේ දරුවන්ටද යහපත් වෙනවා නොඅනුමානය.
වෛද්‍ය ලේඛන ඇසුරිණි
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)