අමතර ආදායමක් උපයාගන්න ගෙවත්තේම මිරිස් වගාවක් පටන් ගන්න විදිය ගැන හරියටම දැනගන්න
1,567 Views
අප රටේ කොයි කවුරුත් දන්නා මිරිස් එදිනෙදා ආහාර සැකසීම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. එම නිසා දේශීය වශයෙන් වියලි මිරිස් මෙන්ම අමු මිරිස්වලටද හොඳ ඉල්ලුමක් පවතී. වැඩි ආදායමක් ලබාගත හැකි බෝගයක් ලෙස මිරිස්වලට ප්‍රධාන තැනක් හිමි වී තිබේ. සෑහෙන කලක පටන් ගොවි මහතුන් මිරිස් වගාවට කැමති ප්‍රධාන හේතු දෙකක් ඇත. ඒවා නම් අපහසුවකින් තොරව අස්වැන්න කල්තබා ගැනීමට හැකිවීම සහ පවතින ඒකාකාර හොඳ මිල යන කරුණුයි. ශ්‍රී ලංකාවේ මිරිස් වගාව ක්‍රමයෙන් ව්‍යාප්ත වී අසූූව දශකයේ එහි වපසරිය හෙක්ටයාර් 35000 ක් දක්වා ඉහළ ගියද, අද එය හෙක්ටයාර 18000 ක් පමණ දක්වා පහත බැස තිබේ. අපේ ජාතික අවශ්‍යතාව වාර්ෂිකව මෙට්‍රික් ටොන් 45000 ක් පමණ වේ. නමුත් වර්තමානයේ එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මිරිස් විශාල ලෙස ආනයනය කිරීමට සිදුවී තිබේ.
කෙසේ වෙතත් මෑත භාගයේ නොයෙකුත් හේතුන් නිසා ගොවි ජනතාවගේ මිරිස් වගාව ගැන ඇති උනන්දුව අඩු වී තිබේ. මිරිස් ආනයනය කිරීම, ගුණාත්මයෙන් යුත් බීජ අඩුවීම, මිල පහත වැටීම, හා ලෙඩ රෝග මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපෑ කරුණුය. එහෙත් මිරිස් මිල යළිත් ඉහල ගොස් ඇති මෙම වකවානුවේ ඉතා හොඳ ආදායමක් ලබාගත හැකි බැවින් මිරිස් වගාව කෙරෙහි වඩ වඩාත් නැඹුරු වන්නේ නම් අපේ ජාතික අවශ්‍යතාව සපුරා ගැනීමේ ඉලක්කය කරා ළඟා විය හැකිය. මේ ගැන ගොවි ජනතාවගේ අවධානය යොමු විය යුතු කාලය එළඹ තිබේ. ශ්‍රී ලංකාවේ සෑම කෘෂි දේශගුණික කලාපයකම මිරිස් වගා කළ හැකිය. නමුත් තෙත් කලාපයේ මිරිස්, අමු මිරිස් ලෙස බොහෝ විට වෙළෙඳපොළට එන අතර වියළි මිරිස් බහුලව නිපදවනුයේ වියළි කලාපයේය. විශේෂයෙන් මෑත භාගයේ මහවැලි කලාපවල මිරිස් බහුලව වගා කොට සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්තේය.
දේශගුණික අවශ්යතාමිරිස් විවිධ දේශගුණික තත්ත්ව යටතේ වගා කළ හැකි නමුත් සම්මත දේශගුණික අවශ්‍යතා තිබේ. මුහුදු මට්ටමේ සිට මීටර් 1600 ක් දක්වා එනම් අඩි 6000 ක පමණ දක්වා උස් ප්‍රදේශයන්හි වගා කළ හැකිය. වගාව සඳහා සුදුසු උෂ්ණත්වය සෙන්ටි ග්‍රේඩ් අංශක 21 – 27 කි. වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 600 – 10000 අතර පවතින ප්‍රදේශවල අහස් දියෙන් වගා කළ හැක. අනෙකුත් ප්‍රදේශවල ජල සම්පාදනය කළ හැකිය. ගැඹුරු පසක් සහිත සාරවත් හොඳින් ජලය බැස යන ඉඩම් සුදුසුය. ජලය හොඳින් බැස නොයන්නේ නම් මිරිස් ගස් තරමක් දුර්වල වේ. නමුත් උස් පාත්ති යොදා ඒවායේ මිරිස් වගා කළ හැකිය.
නිර්දේශිත ප්රභේදශී ලංකාවේ මිරිස් වගා කරන ප්‍රදේශයන්ට වඩා හොඳින් ගැලපෙන වැඩි අස්වනු ලැබිය හැකි මිරිස් ප්‍රභේද 5 ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කර ඇත. එම්. අයි. 1, එම්. අයි 2, කේ. ඒ. 2, අරුණලු හා එම්. අයි හොටි එම ප්රභේදයන් වේ.
එම්. අයි. 1: සෙ.මි. 75 ක් පමණ උසට වැඩෙන මෙම ප්‍රභේදයේ සෙ.මී 10 – 12 පමණ දිගින් යුත් කරල් හට ගනී. මාස 5 1/2 – 6 පමණ ආර්ථික ජීවිත කාලයක් පවතින අතර, බීජ වැපිරීමේ සිට මල් පිපීමට ගතවන දින ගණන සෙසු ප්‍රභේද වලට වඩා තරමක් වැඩිය. අමු මිරිස් නිෂ්පාදනය සඳහා ගොවින් අතර ප්‍රචලිත ප්‍රභේදයකි.
එම්. අයි 2: සෙ.මි. 55 – 60 පමණ උසකින් යුත්, කප්පාදු කළ තේ පඳුරක ආකාරයට වර්ධනය වන මෙම ප්‍රභේදයේ අතු බෙදීම ඉතා පහළින් ආරම්භ වේ. සෙ.මි. 5 – 7 ක් පමණ දිගක් ඇති, අග්‍රය මොට වූ කෙටි කරල් ඉතා විශාල සංඛ්‍යාවක් එක් පඳුරක දැකිය හැක. කරලක් තුල අඩංගු බීජ ප්‍රමණය අධික බැවින් කරල්වල වියළි බර සෙසු ප්‍රභේද වලට වඩා වැඩිය. අමු හා වියලි මිරිස් යන දෙආකාරයටම සුදුසු වුවත් වියළි මිරිස් කිලෝවක් නිපදවීමට අවශ්‍ය ඉදුණු මිරිස් ප්‍රමාණය කිලෝ හතරකට අඩුය. සෙසු ප්‍රභේද වල මෙම අගය හතරක්් පමණ වේ.
කේ. ඒ. 2: එම්. අයි. 2 ප්‍රභේදයට සමාන වර්ධන විලාශයක් පෙන්වුවද, එතරම් තද බදව අතු නොබෙදේ. අග්‍රය උල් වූ සෙ.මී. 7 – 8 ක් පමණ දිගින් යුත් මධ්‍යම ප්‍රමාණයේ කරල්වල මි.මී. 2 පමණ වූ ඝණකම එලාවරණයනක් (පොත්තක්) ඇත. වියළි මිරිස් ලෙස වැඩි කලක් අස්වනු ලබාගත නොහැකි බැවින් හා වියළීමේදී වැඩිකලක් ගතවන නිසාත්, අමු මිරිස් වගාකරුවන් අතර වඩාත්ම ජනප්‍රිය ප්‍රභේදයක් ලෙස සැලකිය හැකිය. කොළ කොඩවීමේ සංකීර්ණයට තරමක් ප්රතිරෝධීතාවයක් පෙන්වයි.
අරුණලු: සෙ.මී. 55 – 60 උසකින් යුත් එතරම් අතු නොබෙදුණු මධ්‍යම ප්‍රමාණයේ සෙ.මී. 6 – 8 පමණ දිගින් යුත් කරල් හටගන්නා ප්‍රභේදයකි. ඉහළට යොමු වූ කරල් හට ගන්නා බැවින් සෙසු ප්‍රභේදයන්ගෙන් පහසුවෙන් වෙන්කර හඳුනා ගත හැක. දිගු කලක් වර්ණය නොවී කල් තබා ගතහැකි දීප්තිමත් රත් පැහැයෙන යුත් වියළි මිරිස් නිෂ්පාදනයට වඩාත්ම උචිත ප්‍රභේදයකි. සෙසු ප්රභේදයන් වඩා දින 7 – 10 පමණ ඉක්මණින් අස්වනු ලබාගත හැකි මෙම ප්‍රභේදයේ සුවිශේෂී ලක්ෂණයක් වනුයේ පළමු අස්වනු වාර 3 – 4 තුළ දී ලැබිය හැකි මුළු අස්වැන්නෙන් 75% ක් පමණ ලබාගත හැකි වීමයි. කරල් ඉහළට පිහිටා ඇති බැවින් අස්වනු නෙලීමේදී වැඩි සැලකිල්ලන් යොමු නොකළහොත් රිකිලි කැඩී යාමක් සිදුවිය හැකිය. ඇන්ත්රැක්නෝස් රෝගයට මධ්‍යස්ථ ප්රතිරෝධිතාවයක් පෙන්වුවද, කොළ කොඩවීමේ සංකීර්ණයට ප්රතිරෝධීතාවයක් නොපෙන්වයි.
එම්. අයි. හොට්: දෙ.මී. 55 – 60 පමණ උසකින් යුත්, පඳුරක් ලෙස වූ මෙම ප්‍රභේදය මධ්‍යස්ථ ප්‍රමාණයේ කරල් හට ගනී. අමු හා වියලි මිරිස් නිෂ්පාදනය සඳහා යොදාගත හැකි මෙම ප්‍රභේදය අස්වනු විභවය සෙසු ප්රභේදයන්ට වඩා 15% ක් පමණ වැඩිය. කොළ කොඩවීමෙ සංකීර්ණයට තරමක් ප්රතිරෝධීතාවයක් පෙන්වන අතර ඇන්ත්රැක්නෝස් හා සෙසු දිලීර ආසාදනයන්ට මධ්‍යස්ථ ප්රතිරෝධීතාවයක් පෙන්නුම් කරයි. වියළි මිරිස්වල වර්ණය නොවෙනස්ව දිගු කලක් තබාගත හැකි මෙම ප්‍රභේදය 2002 වසරේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කරන ලද්දකි.
බීජ අවශ්‍යතාව හා වගා කාලයසාමාන්යයෙන් අක්කරයක් වගා කිරීම සඳහා බීජ කිලෝ ග්‍රෑම් 01 ක්ද, අවශ්‍ය වේ. මිරිස් වගා කාල වන්නේ මහ කන්නයේදී අහස් දියෙන් වගා කරන්නේ නම් ඔක්තෝබර් මාසයේද මහ කන්නයේ වාරි ජලයෙන් වගා කරන්නේ නම් දෙසැම්බර් ජනවාර මාසවලද, යල් කන්නයේදී වාරි ජලයෙන් වගා කරන්නේ නම් අප්‍රේල් මැයි මාස වලදී පැළ සිටුවීම යෝග්‍යය.
තවාන් සැලසීමහොඳ බිමක් මේ සඳහා තෝරා ගත යුතුය. හොඳින් හිරුඑළිය ලැබෙන, මීට ප්‍රථම තවානක් නොදැමූූ ස්ථානයක් වඩා සුදුසුය. ජල සම්පාදනය පහසුවන අන්දමට උස්පාත්ති සකස් කරගත යුතුය. පළල මීටරයක් පමණ වන අවශ්‍ය පමණට දිග වූ පාත්ති සකසා ජීවානුහරණය කළ යුතුය. මේ සඳහා ක්‍රම තුනක් විශේෂයෙන් අනුගමනය කළ හැක.පාත්ති පොලිතින් වලින්් වැසීම, රසායනික දිලීර නාශාක යෙදීම දහයියා සහ පිදුරු මඟින් පාත්ති තැම්බීම යන ක්‍රම තුනෙන් එකක් භාවිතා කොට පස ජීවානුහරණය කරගත හැක.තවානට බීජ දැමීමට පෙර බීජ කිලෝ ග්‍රෑම එකකට කැප්ටාන් 80% කුඩු ග්‍රෑම් 06 ක් හෝ තිරාම් 80% කුඩු ග්‍රෑම් 04 ක් යොදා බීජ ප්‍රතිකාර කළ යුතුය.තවානෙහි බීජ දැමීම සකස් කරගත් පේලි දිගේ හෝ අක්‍රමවත්ව විසුරුවා හැරීමට පුළුවන. එක් හෙක්ටයාරයකට මීටර් 3 සහ සෙන්ටි මීටර් 90 පාත්ති 30 ක් අවශ්‍ය වේ. බීජ තවාන් කර දින 08 – 10 ක් ගත වූ පසු සියලුම බීජ ප්‍රරෝහණය වී අවසන් වේ. තවානේ පැළ මාසයක් පමණ තැබිය යුතුය.
ක්ෂේත්රයේ සිටවීමහොඳින් කැට පොඩිවන ලෙසට සෙන්ටි මීටර 20 – 25 ගැඹුරින් පස පෙරලා ක්ෂේත්රය හොඳින් සකස් කරගත යුතුය. භූමියේ පිහිටීම අනුව ජලය බැස යන ආකාරයට පාත්ති සහ කානු සකස් කැර ගත යුතුය. දින 25 – 30 ක් පමණ වයසැති සෙන්ටි මීටර් 15 ක් පමණ උස් වූ පැළ ක්ෂේත්රයේ සිටුවීම සඳහා සුදුසුය.
පොහොර යෙදීම හා ජල සම්පාදනය: පැළ සිටුවීමට දින 2 – 3 කට පෙර ත්‍රිත්ව සුපර් පොස්පේට් කිලෝ ග්‍රෑම් 40 ක් ද, මියුරියේට් ඔෆ් පොටෑෂ් කිලෝ ග්‍රෑම් 20 ක් ද, අක්කරයට මූූලික පොහොර ලෙස යෙදිය යුතුය. මතුපිට පොහොර ලෙස සති 2 දී හා සති 4 දී අක්කරයට යූූරියා කිලෝ ග්‍රෑම් 25 බැගින් යෙදිය යුතුය. එසේම පැළ සිටුවා සති 8 දී තුන්වන මතුපිට පොහොර ලෙස අක්කරයකට යූූරියා කිලෝ ග්‍රෑම් 25 සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් කිලෝ ග්‍රෑම් 20 ක් යෙදිය යුතුය. හතරවන මතුපිට පොහොර ලෙස අක්කරයකට යූූරියා කිලෝ ග්‍රෑම් 25 ක් යෙදිය යුතුය.
රෝග හා පලිබෝධ හානිමාස 5 ක් පවතින මිරිස් වගාවක් සඳහා සම්පූර්ණ ජල අවශ්‍යතාව හෙක්ටයාර් සෙන්ටිමීටර් 120 ක් හෙවත් අක්කරයකට අඩි 4 කි. පළමු මාස දෙක තුළ දී දින 4 – 5 වරක් බැගින් ජලය යෙදීම ප්රමාණවත්ය. මල් හා කරල් ලපටි අවස්ථාවන්හිදී වගාවට ජල හිඟයක් ඇති නොවීමට වගබලා ගත යුතුය. මල් හා කරල් හැලීම එමඟින් වළක්වා ගත හැකිය. කිසි විටෙකත් පාත්ති ජලයෙන් යට කිරීම නොකළ යුතුය. ප්‍රධාන වශයෙන් දියමලන් කෑම, ඇන්ත්රැක්නෝස් රෝගය, සිටු මැරීම, කොළ පුල්ලි රෝගය, පාමුල කුණුවීම පත්‍ර සිහින්වීමේ තත්ත්වයද ඇතිවේ. මේ හැර පැලමැක්කා, කුඩිත්තා, මයිටා, සුදු මැක්කාගේ හානි නිසා කොළ කොඩවීම ඇතිවේ. මෙය මිරිස් වගාවේ ඇති ප්‍රධාන ගැටලුවකි. මේ හැර කරල් විදින දළඹුවාගේ හානියද දක්නට ලැබේ. මේවා රසායන ද්‍රව්‍ය යොදා පාලනය කර ගත හැක.
අස්වැන්න නෙළීම: සිටුවා දින 70 – 80 කට පසුව අස්වැන්න නෙලීම කළ හැකි හොඳින් මෝරා ඇති තද කොළ පාටින් යුත් කරල් අමු මිරිස් වශයෙන් නෙලා ගත හැක. වියළි නිෂ්පාදනය සඳහා රතු පැහැ වී ඇති කරල් නෙලා ගත යුතුය. ප්‍රථම අස්වනු නෙලීමේ සිට දින 8 – 10 ක් අතර කාලාන්තරයකින් ඉදිරියට මාස 2 – 3 ක් තිස්සේ අස්වනු ලබාගත හැක.සාමාන්‍යයෙන් අමු කරල් කිලෝ ග්‍රෑම් 3 – 4 කින් වියලි මිරිස් කිලෝ ග්‍රෑම් එකක් ලබා ගත හැක. හොඳින් මෝරා ඇති තද කොල පාටින් යුත් කරල් අමු මිරිස් වශයෙන් නෙලා ගත හැක. වියළි මිරිස් නිෂ්පාදනය සඳහා රතු පැහැවී ඇති කරල් නෙලා ගත යුතුය. ප්‍රථම අස්වනු නෙලීමේ සිට දින 8 – 10 ක් අකර කාලාන්තරයකින් ඉදිරියට මාස 2 – 3 ක් තිස්සේ අස්වනු ලබාගත හැක.සාමාන්‍යයෙන් අමු කරල් කිලෝ ග්‍රෑම් 3 – 4 කින වියළි මිරිස් කිලෝ ග්‍රෑම් එකක් ලබා ගත හැක. ජල සම්පාදනයෙන් නඩත්තු කරන වගාවකින්, අක්කරයකට වියලි මිරිස් කිලෝ ග්‍රෑම් 800 – 1200 ක් එනම් හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 2500 – 3000 ක් පමණ ද ලබගත හැක. අහස් දියෙන් වගා කරන්නේ නම් අක්කරයකට කිලෝ ග්‍රෑම් 400 – 600 (හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 1000 – 1500) ක් පමණ ලබාගත හැක.වියළි මිරිස් ගබඩා කිරීම සඳහා හණ ගෝනි යොදා ගන්නේ නම් වඩා හොඳයි. ගෝනිවලට තද කර පිරවීම නොකරන්නේ නම් යහපත්ය. ගෝනියක් 2/3 ක් පමණ පිරවීම යෝග්‍යය. මිරිස් ගෝනි පොළොව සමඟ ස්පර්ශ වනසේ ගබඩා නොකළ යුතුය. මසකට වඩා ගබඩා කරන්නේ නම් වරින් වර නැවැත වියළිය යුතුය. මාස 3 කට වඩා ගබඩා කර තැබූූ විට වර්ණය අඩු වේ. එවිට වෙළෙඳපොළ වටිනාකම ද අඩුවේ.මේ දිනවල මිරිස් මිල ඉහළ ගොස් ඇත. අක්කරයක මිරිස් වගා කොට හොඳින් නඩත්තු කළහොත් ආසන්න වශයෙන් වියලි මිරිස් කිලෝ ග්‍රෑම් 1000 ක් පමණ ලබාගත හැක. කිලෝ එකක් රු: 150,00 කට පමණ අලෙවි කළහොත් රුපියල් 150,000.00 ක පමණ ආදායමක් උපයා ගත හැක. මේ පිළිබඳව වියළි කලාපයේ හා මහවැලි ගොවි ජනතාවගේ අවධානය නැවත යොමු විය යුතු කාලය දැන් එළැඹ තිබේ.
කේ. බී. ගුණරත්නසහකාර කෘෂිකර්ම අධ්යක්ෂ, ව්‍යාප්ති හා පුහුණු අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය
Source