ඔබේ ගෙවත්තේ ඉඩ අනුව අඩු ඉඩකට ගැලපෙන බඳුන් වගාව පටන් ගන්න විදිය
1,474 Views
ඔබට හැකි ආකාරයට තම ගෙවත්තේ ම යමක් වවා ගැනීම ප්‍රතිඵලදායක ය. එහෙත් මෙහි දී නාගරිකව ජීවත් වන්නවුන්ට බලපාන ප්‍රශ්නයක් ලෙස ඉඩකඩ මඳ බව ඉස්මතු වේ. එයට පිළියමක් ලෙසට බඳුන්ගත එළවළු වගාව හඳුන්වා දිය හැකිය. බදුන් වල එළවළු වගා කිරීමේ දී බෝගයේ ස්වභාවය අනුව බඳුන තෝරා ගැනීම ඉතා වැදගත් ය. ශාකයේ වර්ධනයේ ආකාරයට බඳුන වෙනස් විය යුතු ය. උදාහරණයක් ලෙස සොලනේසි කුලයට අයත් වන තක්කාලි, වම්බටු, මාළුමිරිස් ආදියේ ගස් උසට වැඩෙයි. ඒවා අතුපතර විහිදී වැඩෙයි. වැටකොළු, පතෝල, කරවිල වැනි කුකර්බිටේසි කුලයේ ශාක වැඩෙන්නේ වැල් වශයෙනි. රාබු, බීට්රූට්, කැරට්, නෝකෝල් ආදි ශාක කුඩාවට වැවෙයි. මේ ශාකවල වර්ධන ස්වරූපය අනුව බඳුනේ ප්‍රමාණය ද තෝරා ගත යුතු ය.
බඳුන් වශයෙන් යොදා ගන්නා දේ ගැන සලකා බැලීමේ දී ඒ සඳහා ද වැඩි වියදමක් නො යන දේ යොදාගත හැකි ය. මේ සඳහා ඉවත දමන පොහොර බෑග්, හාල් බෑග් ප්‍රයෝජනවත් ආකාරයට යොදාගැනීමට පුළුවන. එයින් පරිසර දූෂණය ද අවම කළ හැකි ය. රිජිෆොaම් පෙට්ටි, වැහි පිහිලි ලෙස යොදාගනු ලබන බට, ටයර්, ටින්, පළුදු වූ ප්ලාස්ටික් භාජන ආදිය ද භාවිතයට ගත හැකි ය. ජලය බැස යැම සඳහා ක්‍රමවත් ආකාරයක් යොදා ගැනීම ඉතා ම අවශ්‍ය ය.
සාමාන්‍යයෙන් සොලනේසි කුලයේ බෝග ලෙස යොදා ගන්නා බටු, මිරිස්, තක්කාලි, වැනි බෝගවලට සෙ.මී. 30-45 පමණ උස, විෂ්කම්භය සෙ.මි. 30-40 පමණ වන බඳුන් යෝග්‍ය ය. සාමාන්‍ය කි.ග්රෑ. 10 ප්‍රමාණයේ මලු මේ සඳහා යොදාගත හැකි ය. රාබු, කැරට්, බීට් වැනි බෝග සඳහා එතරම් උසකින් යුත් බඳුන් අවශ්‍ය නො වේ. ඒ සඳහා කි.ග්රෑ 5 ප්‍රමාණයේ මලු යෝග්‍ය වේ. කොළ එළවළු වර්ග වගා කිරීමට නම් සෙ.මි. 15ක් පමණ උස ප්‍රමාණයේ බඳුන් යෝග්‍ය වේ. ඉවත දමන ටයර්වල ද ඉතා ක්‍රමවත් ආකාරයට කොළ වර්ග වගා කළ හැකි ය. කි.ග්රෑ 20, 50 ප්‍රමාණයේ මලුවල පහසුවෙන් අල වර්ග වගා කළ හැකි ය. මඤ්ඤොක්කා වැනි අල සඳහා කි.ග්රෑ 50 ප්‍රමාණයේ මලු යෝග්‍ය ය. වැල් අල වර්ග, ගහල වර්ග සඳහා ද මලු යොදා ගැනීමට පුළුවන. මේ උස, පළල ප්‍රමාණ ගැන අවබෝධ කරගෙන නිවසේ ඉවත දමන, සිදුරු වන ප්ලාස්ටික් බාල්දි, බේසම් ආදිය වගාවන් සඳහා යොදාගත හැකි ය.
දැන් බොහෝ ස්ථානවල ස්ථිර බෝග වර්ග පවා බඳුන්වල වගා කර තිබෙනු දැකගත හැකි ය. මේ සඳහා ප්‍රමාණයෙන් විශාල සිමෙන්ති පෝච්චි, හිස් තාර බැරල් ආදිය යොදාගෙන තිබෙන ආකාරය පෙනෙන්නට තිබේ. ඒවා සීමිත බිම් ප්‍රමාණයක වැඩුණත් අවශ්‍ය ප්‍රමාණයට පැළෑටි පෝෂක ලබා දීම මඟින් සාර්ථකව වර්ධනය වන බව දැකගත හැකි ය.
බෝග වර්ගය අනුවත්, බඳුනේ ප්‍රමාණය අනුවත් එක් බඳුනක සිටුවන පැළ ප්‍රමාණය තීරණය කළ යුතු ය. උදාහරණයක් ලෙස කුඩා බඳුනක පැළ (තක්කාලි, බටු වැනි) 2ක් සිටවුව හොත් එම පැළ වර්ධනයට අවශ්‍ය ඉඩකඩ මඳකම නිසා හොඳ වර්ධනයක් බලාපොරොත්තු විය නොහැකි ය. එහෙත් එවැනි තැනක එක පැළයක් සිටුවුව හොත් ප්‍රතිඵල ඊට වඩා සතුටුදායක විය හැකි ය. එමෙන්ම එක ම වර්ගයක පැළ බඳුන් කිහිපයක සිටුවන විට එක ම ප්‍රමාණයේ පැළ සිටුවා ගැනීමෙන් ඒකාකාර වර්ධනයක් දැකගත හැකි ය. එවිට එහි අලංකාරයක් ද ගෙන දෙයි. බීජ සිටුවන විට ද එක ම ගැඹුරකින් බීජ තැන්පත් කිරීම වඩා වැදගත් ය. සාමාන්‍යයෙන් සෙ.මි. 1ක පමණ ගැඹුරකින් සිටුවීම යෝග්‍ය ය. කෘමින් ගෙන් හා වෙනත් උවදුරුවලින් බීජ ආරක්ෂා කිරීම පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය ය. බඳුන් මාධ්‍යයෙහි තෙතමනය පරීක්ෂා කර ජලය ලබා දීම වැදගත් ය. බීජ පැළ වීම, කෘමි හා වෙනත් උවදුරුවලින් බීජ ආරක්ෂා කිරීම පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය ය. බඳුන් මාධ්‍යයෙහි තෙතමනය පරීක්ෂා කර ජලය ලබා දීම වැදගත් ය. බීජ පැළ වීම ආරම්භ වූ පසු ඒ පිළිබඳව සැලකිල්ලෙන් සිටීම අවශ්‍ය ය. නැතිනම් ළපටි පැළවලට හානි සිදු විය හැකි ය. විශේෂයෙන් ම තද වර්ෂාව, කොළ අතුවලින් වතුර බිංදු බේරීම, ළපටි පැළවලට හානිදායක ය.
පත්‍ර දෙක තුනක් පැමිණෙන විට බඳුනට අවශ්‍ය ප්‍රමාණයට වඩා පැළ තිබේ නම් ඒවා ඉවත් කළ යුතු ය. මේ ඉවත් කරන පැළවල මූල පද්ධතියට හානියක් නො වන ආකාරයට ඉවත් කරගෙන වෙනත් බඳුනක සිටුවා ගැනීමට ද පුළුවන. පැළ ක්‍රමයෙන් වර්ධනය වන විට ක්‍රමයෙන් හිරු එළියට හුරු කළ යුතු ය. පස් කුට්ටියත් සමග පැළ සිටුවීමට යොදා ගන්නේ නම් බොහෝ වාසිදායක තත්ත්වයක් ලබා ගැනීමට පුළුවන. එසේ සඳහන් කරන්නේ ළපටි මුල්වලට ඉන් හානියක් නො වීම නිසා ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බැවිනි. ආරම්භයේ දී ලැබෙන එම දිරිය පැළයේ ඉදිරි වර්ධනයට ඉතා ම හිතකර ය. ඉතා කුඩා බීජ සහිත වර්ග වන බටු, මාළුමිරිස්, තක්කාලි, ගෝවා වැනි බෝග සඳහා බඳුනක සිටුවා දැඩි කරගත් පැළ ස්ථිර බඳුනේ සිටුවීම ඉතා යෝග්‍ය ය.
තවාන් බඳුනක් සකස් කර ගැනීම සඳහා විෂ්කම්භය සෙ.මි. 10-12 තරම් වූ, උස සෙ.මී. 15 තරමේ පොලිතීන් බඳුන් සකස් කරගත හැකි ය. මේ සඳහා හිස් යෝගට් කෝප්ප, පොල් කටු, කෙසෙල් පට්ටාවලින් සකස් කරගත් බඳුන් ආදිය වුව සාදා ගැනීමට පුළුවන. කුමන දෙයක් භාවිත කළත් ජලය නො රැඳෙන ආකාරයට වැඩි ජලය ඉවත් වීමට සිදුරු සකස් කර ගැනීම අවශ්‍ය ය. මෙය ඉතා ම වැදගත් ය. තවාන් මාධ්‍ය ඉතා සියුම් වීම, ළපටි පැළ වර්ධනයට හිතකර ය. හොඳින් හලා ගත් මතු පස් වියළුණු ගොම සමාන ප්‍රමාණවලින් (1(1 අනුපාතයට) ගෙන මිශ්‍ර කරගත යුතු ය. අළු හෝ කර කරගත් දහයියා සුළු වශයෙන් හෝ එක් කරගත හැකි නම් වඩාත් සුදුසු ය. බඳුන්වලට මිශ්‍රණය පුරවා ගැනීමට පෙර පොලිතීන් බඳුන් වැනි දෙයක් යොදා ගන්නවා නම් යට කෙළවර මුලු දෙකෙන් මඳක් ඇතුළට සකස් කර ගැනීමෙන් බඳුනට ශක්තිමත් බවක් ලබා ගත හැකි ය.
වෙළෙඳපොළේ තවාන් තැටි වෙන ම මිල දී ගැනීමට තිබේ. ඒවා යොදන්නේ නම් වාර කිහිපයක් පාවිච්චියට ගැනීමට පුළුවන. වගාව සඳහා යොදා ගන්නා. මාධ්‍යයට දිලීර නාශක ස්වල්පයක් යොදා ජීවාණුහරණය කර ගැනීමෙන් වැඩෙන පැළ දිලීරවලින් ආරක්ෂා කරගත හැකි ය. සිටුවීමට යොදා ගන්නා බීජ ද දිලීර නාශකයක් යොදා ජීවාණුහරණය කර ගැනීමෙන් බීජ මගින් පැතිරී යා හැකි දිලීර මර්දනය කර ගැනීමට පුළුවන. මේ සියලු කටයුතු ඉටු කර ගැනීම මගින් කුඩා පැළවල නිරෝගීභාවය ආරක්ෂා කර ගැනීමට හැකි වේ.
හොඳින් සකස් කරගත් මාධ්‍යයක සිටුවන නිරෝගී බීජ මගින් නිරෝගී පැළ ලබා ගැනීමට හැකි වනවා මෙන්ම එවැනි ම බඳුනක ඊළඟට ද සිටුවීමෙන් පැළවල වර්ධනය සාර්ථක වේ. වගා මාධ්‍යයේ සාරවත්භාවය අනුව පොහොර වර්ග ලබා දීමට කටයුතු කළ යුතු ය. පැළ හොඳින් පත්‍ර සහිතව, අතු බෙදෙමින් වර්ධනය වන්නේ නම් අමතරව පොහොර යෙදීමට උනන්දු නො විය යුතු ය. සමහර දෙනෙක් පැළ සිටුවූ දින සිට ම පොහොර යෙදීමට උනන්දු වෙති. දියර පොහොර යෙදීමටත්, වෙනත් රසායනික පොහොර යෙදීමටත් පටන් ගනිති. කුඩා කල සාරවත් වර්ධනයක් නො පෙන්වයි නම් පමණක් නයිට්රජන් වැඩි පොහොරක් ලබා දීම අවශ්‍ය ය. යුරියා වැනි කැට පොහොර යෙදීම ඉතා නිවැරැදිව කළ යුතු ය. සති දෙකක් පමණ යන විටත් පැළ සාර්ථක වර්ධනයක් නො පෙන්වයි නම් පමණක් නයිට්රජන් වැඩි පොහොරක් ලබා දීම අවශ්‍ය ය. යූරියා වැනි කැට පොහොර යෙදීම ඉතා නිවැරැදිව කළ යුතු ය.
සති දෙකක් පමණ යන විටත් පැළ සාර්ථක වර්ධනයක් නො පෙන්වයි නම් පමණක් ඉතා සුළු ප්‍රමාණයක් යෙදිය හැකි ය. එහෙත් සැම විට ම කාබනික පොහොර මගින් මේ අවශ්‍යතාව සපුරා දිය හැකි ය. මල් පිපෙන අවස්ථාව වන විට පැළයෙහි වර්ධනය දුර්වල බව පෙනෙන්නට තිබේ නම් පමණක් පොටෑසියම් අඩංගු පොහොරක් ලබා දීම කළ හැකි ය. මේ අතර වාරයේ සාරවත් මූල මණ්ඩලයක් පවත්වා ගැනීමටත්, පටකවල වර්ධනයටත් බලපාන පොස්පරස් මුලද්‍රව්‍යය ද අවශ්‍ය ය. මේ කාල වකවානුවලට ගැළපෙන ලෙස නිෂ්පාදිත රසායනික පොහොර මිශ්‍රණ වෙළෙඳපොළේa මිල දී ගැනීමට ඇත. දියර පොහොර වශයෙන් යෙදීමට තිබෙන්නේ ද මෙම පෝෂ්‍ය පදාර්ථ අඩංගු දියර පොහොර ය. කෙසේ වෙතත් රසායනික පොහොර යෙදීම අවශ්‍ය වන්නේ පැළෑටි දුර්වල ලක්ෂණ පෙන්වන්නේ නම් පමණක් බව විශේෂයෙන් ම සඳහන් කළ යුතු ය. විශේෂයෙන් ම සත්ත්ව පොහොර ලෙස ලබාගත හැකි ගොම පොහොර, කුකුළු පොහොර, එළු පෙහොර, ඌරු පොහොර, වවුල් පොහොර ඉතා වටිනා කාබනික පොහොර වේ. එහෙත් කුකුළු පොහොර සුළු ප්‍රමාණයක් යෙදීමට වග බලා ගන්න. බ්‍රොයිලර් පොහොර සැර ගතියෙන් අඩු ය. මෙම සත්ත්ව පොහොර යොදාගෙන සකස් කරනු ලබන කොම්පෝස්ට් පොහොර ඉතා ම වටිනා කාබනික පොහොරකි. එහෙත් වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට තිබෙන බොහෝ කොම්පෝස්ට් පොහොරවල ප්‍රමිතිය අඩු මට්ටමක තිබිය හැකි නිසා ඒවා යොදන විට ප්‍රතිඵල අඩු වීමට ඉඩ තිබේ. වගාවේ පත්‍රවල පැහැපත් බව අනුව යොදන පොහොරවල සාර්ථකභාවය නිගමනය කළ හැකි ය.
බඳුන් වගාවේ දී ඉතා වැදගත් වන අනෙක් කාරණය හිරු එළිය ලැබෙන ආකාරයට ඒවා තැන්පත් කිරීම ය. හොඳින් කෙළින් ම පැළෑටිවලට පතිත වන හිරු එළිය සාර්ථක වර්ධනයකට හේතු වේ. පැළෑටිය බඳුනෙන් ඉවතට නැවී හිරු එළිය සොයා යැමට පෙලඹෙයි නම් ඒ බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි ය. පැළෑටිය හොඳින් කෙළින් වැඩේ නම් හිරු එළිය හොඳින් පැළෑටියට ලැබෙන බවට සාධකයකි. අද බොහෝ දෙනෙක් නිවාස ඉදි කරන විට යොදා ගනු ලබන කොන්ක්‍රීට් ලැලි (ඤබජරුඑe sක්ඉs) මත වගාවන් සිදු කරති. එම ස්ථානවලට හොඳින් ලැබෙන හිරු එළිය සාර්ථක වගාවක් සඳහා හේතු වෙයි. මේ නිසා ම නාගරික ප්‍රදේශවල වගාවන් කරන බොහෝ දෙනකු දැන් යොමු වී තිබීම සතුටට කරුණකි. සාර්ථක එළවළු, පලතුරු ආදි බෝග මේ ආකාරයට ම සිටුවාගෙන මල් වගාවක් කරනවාට වඩා මානසික සතුටක් ලබා ගැනීමට මේ පිරිස පෙලඹී සිටිති. මේ ස්ථානවල නිර්පාංශු වගාවන් ද පහසුවෙන් කළ හැකි ය. වැහි පිහිලි ආදිය පවා යොදාගෙන පස් රහිතව කරන වගාවන් මෙම ස්ථානවල කළ හැකි ය.
කුඩා ඉඩක කරන බඳුන් වගාව වඩාත් හොඳින් පවත්වා ගැනීමට ස්ථිරව පැළ සිටුවන මාධ්‍ය ද සාරවත් විය යුතු ය. මතුපස් (සාරවත්), කොම්පෝස්ට් හා වැලි 3 ( 2 ( 1 අනුපාතයට පැළෑටියට හිතකරය. වැලි යෙදීමෙන් ජල වහනය සඳහා හිතකර පරිසරයක් ලබා දීමට පුළුවන. වැලි යොදන විට රළු වැලි යොදා ගැනීම අවශ්‍ය ය. බඳුනට මාධ්‍ය යොදන විට කට මට්ටමට අඟල් 2-3ක් පමණ පහළට සිටින ලෙසට පිරවිය යුතු ය. බඳුන පිරි යන ආකාරයට යෙදීමෙන් ජලය යොදන විට මාධ්‍ය පිටතට ගලා යාම සිදු වේ. වැල් දුවන එළවළු වර්ග වන කරවිල, වැටකොළු, පිපිඤ්ඤා ආදී බෝග වවන විට ඒ සඳහා ආධාරක ලබා දිය යුතු ය. ඒ සඳහා ක්‍රමයක් ලෙසට බඳුනේ ම කෙළවර ක්‍රමවත් ආකාරයට බටයක් යෙදීම කළ හැකි ය. නැතිනම් මේ වර්ග කිහිපයක් එක ළඟින් වගා කර පොදුවේ පත්දලමක් සකස් කර දිය හැකි ය. ආරුක්කු ආකාරයට නමා සකස් කරන කම්බි, පීවීසී බට, ඨගෂ පයිප්ප ආදිය ද සකස් කර ගැනීමට පුළුවන. එයින් අලංකාරය ද ලැබේ. කොළ එළවළු වගාවට යොදාගන්නා බඳුන් උඩකින් එල්ලා ගැනීමෙන් ද අලංකාරයක් ලැබේ. උණ බට, වැහි පීලි, ටයර ආදිය භාවිතයට ගැනීමට පුළුවන.
බඳුන් තැන්පත් කරන විට ඒවා එක ළඟ තැන්පත් නො කර මඳක් ඉඩ තබා තැන්පත් කිරීමෙන් නිදහසේ වර්ධනය වීමට අවශ්‍ය ඉඩකඩ ලැබේ. සෙ.මී 30-45 පමණ ඉඩ ලැබෙන ලෙස තැන්පත් කිරීම වඩා සුදුසු ය. එක පේළියට තබනවාට වඩා ත්‍රිකෝණකාර ක්‍රමයට තැබීමෙන් ඉඩ පිරිමැහීමත් අලංකාරයත් ලැබේ. වැල් දුවන වර්ග පිටුපසටත්, ඊළඟ උසකින් යුත් වර්ග ඉදිරියටත්, කෙටි ව වැඩෙන පලා වර්ග ඉදිරියටත් තැබීමෙන් උස මට්ටම් අනුව ද අලංකාරයක් ලැබේ. මේ අතරට දාස් පෙතියා වැනි කහ පාට මල් වර්ග සිටුවා ගැනීමෙන් පළිබෝධින් ගෙන් ආරක්ෂාව ද ලැබේ.
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)