ගෙදරදීම රසට මසාලා තෝසෙ හදන හැටි රෙසිපි එකත් එක්කම මෙන්න
3,001 Views
තොසේ කිවුවම කන්න ආස නැති කෙනෙක් නැති තරම් නේද? ගොඩක් අය තොසේ රාත්‍රී ආහාරයක් ලෙස ආහාරයට ගන්න කැමතියි. තෝසෙ වලින් රසම තෝසෙ විදියට අල මසාලා කරියක් මැදට දාලා හදන මසාලා තෝසේ වලට හැමෝම වගේ කැමතියි නේ. ඔන්න අපි අද කියන්න යන්නේ මසාලා තෝසෙ කොහොමද ගෙදරදීම රසට හදාගන්නේ කියලා. පහලින් තියෙනවා මසාලා තෝසෙ හදන්න අවශ්‍ය ද්‍රව්‍ය සහ හදන හැටි. ඔයාලත් හදලම බලන්නකෝ.
මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය – හාල් පිටි 200g ක්, උළුඳු පිටි 200g ක්, ඇල් වතුර අවශ්‍ය පමණට
මසාලා පිරවුම – පොල් තෙල් ස්වල්පයක්, කපා ගත් සුදු ළූණු මේස හැඳි 1 ක්, සූදුරු තේ හැඳි 1/2 ක්, අබ තේ හැඳි 1/2 ක්, වියලි මිරිස් කරල් 2 ක්, කපා ගත් ළූණු ගෙඩි 1 ක්, කපා ගත් තක්කාලි ගෙඩි 1 ක්, කපා ගත් අමු මිරිස් කරල් 2 ක්, කහ කුඩු තේ හැඳි 1 ක්, මිරිස් කුඩු තේ හැඳි 1 ක්, ලුණු අවශ්‍ය පමණට, තම්බා කපා ගත් අල 500g ක්, කපා ගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්, බටර් අවශ්‍ය පමණට
මෙන්න සාදන ක්‍රමය :
භාජනයක් ගෙන එයට හාල් පිටි, උළුඳු පිටි, ලුණු එක් කොට හොඳින් මිශ්‍ර කර වතුර ස්වල්පය බැගින් එක් කරමින් තරමක් දියාරු වූ පිටි මිශ්‍රණයක් සාදා පැය 5ක් පමණ පිපෙන්නට තබන්න. දැන් පෑන් එකක් ලිප තබා එයට පොල්තෙල් ස්වල්පයක් එක් කර තෙල් රත් වූ පසු එයට අබ, සුදු ළූණු, සූදුරු, වියලි මිරිස්, ළූණු එක් කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් එයට තක්කාලි, අමු මිරිස්, කහ කුඩු , මිරිස් කුඩු , ලුණු සහ තම්බා කපා ගත් අල එක් කර හොඳින් පිස ගන්න. අවසානයේදී කොත්තමල්ලි කොළ එක් කර අල පිරවුම සාදා ගන්න. දැන් තෝස ටික සාදා ගන්න, පෑන් එකක් ලිප තබා බටර් ස්වල්පයක් එක් කර සාදා ගත් පිටි මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් එක් කර තොසේ සාදා ගන්න. දැන් සාදා ගත් තොසේ එක මැද්දට සාදා ගත් අල කරියෙන් ස්වල්පයක් එක් කර රෝල් කරන්න.