සහල් පිටි නැතුව පහසුවෙන් ආප්ප හදන හැටි? පිටරට ඉන්න අපේ යාළුවන්ට ගොඩක් වැදගත් වේවි
2,054 Views
(ලංකාවෙන් පිට ඉන්න අපේ යාළුවෙක් පළ කරන ලද ලිපියක් ඇසුරිනි) අපිට, හාල්පිටි නැහැනේ, බාස්මතී,සහල් පොඟවල බ්ලෙන්ඩ් කරලා හදපු ආප්ප. ඒ එක්ක ම ඉතුරු ආප්ප පිටි මිශ්‍රණයට පැණි දාලා හදපු පැණි ආප්පත් තියෙනවා. වැඩිපුර මේ ලිපිය ප්‍රයෝජනවත් වෙන්නේ පිටරට ඉන්න යාලුවන්ට. හැමදේම එකින් එක විස්තර කලේ අලූතෙන් ම හදන අයට.
මේ මගේ ක්‍රමය, මීට වෙනස් ආකාරයෙන් හදන ක්‍රම ඇති, මම පහසුවෙන් සාදා ගන්න ක්‍රමය මෙහෙමයි. මම ඉන්නෙ ලංකාවෙන් පිට නිසා හාල්පිටි නැහැ , කඩේ තියෙන ready made මිශ්‍රණවලින් හදන්න මම කැමතිත් නැහැ. හාල් පොඟවල පිටි කොටා ගන්න පුළුවන් නමුත් ඒ පියවරට මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. පිටි අරන් දිය කරත් , හාල් වතුරේපොඟවල බ්ලෙන්ඩ් කරලා අරං පොල් කිරි දැම්මත් කෙරෙන්නේ එකම කාර්ය නිසා.
පසුදා උදේට ආප්ප හදන්න අවශ්‍ය නම් මම කලින් දින හවස සහල් පෙගෙන්න දානවා.( හෙට උදේ හදනවනම් අද හවස 3ට පමණ) (සහල් වැඩිපුර පෙගුනට කමක් නැහැ) පසූදා උදේ ආප්ප හදන්න හවස 3ට පමණ පෙගෙන්න දමපු සහල් වතුර බේරා අද රෑ 10 ට විතර බ්ලෙන්ඩ් කර මිශ්‍රණය හදලා තියෙනවා. එතකොට පසුදින උදේ 7 විතර වෙනකොට නියම ප්‍රමාණයට මිශ්‍රණය පිපිලා තියෙනවා.
හෙට රෑට ආප්ප හදන්න අවශ්‍ය වුනාම , අද රෑට නිදාගන්න කලින් ඒ කියන්නෙ රාත්‍රි දහයට එකොළහට පමණ සහල් පෙඟෙන්න වතුර දමනවා. පසුදින දවල් 11ට පමණ මිශ්‍රනය සාදනවා, එතකොට රාත්‍රී 7ට පමණ ආප්ප සාදන්න පුළුවන්.
මම මිශ්‍රනය බ්ලෙන්ඩ් කරද්දිම පොල්කිරි දානවා, මම ඉන්න රට සීත දේශගුණයක් සහිත රටක් නිසා. මට නම් ප්‍රශ්නයක් නැහැ නමුත් ලංකාවෙදි වගේ ඔයාලට හිතෙනවා නම් පොල් කිරි දාලා තිබිලා නරක් වෙයි කියලා. පළමුව බ්ලෙන්ඩ් කරද්දී පොල් වතුරෙන් සහ වතුර කුඩා ප්‍රමාණයක් යොදා බ්ලෙන්ඩ් කරන්න.ආප්ප සෑදීමට පැය දෙකකට පමණ කලින් පොල් කිරි යොදා නැවත මිශ්‍රණය වසා තබන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
මම නම් ගත්තේ සහල් රයිස් කුකර් measuring cup එකෙන් 2ක් (පිටි කිරීමට සුදුසු කැමති සහල් වර්ග යක් ගන්න, සුදු කැකුළු, රතු කැකුළු බාස්මතී වගේ සාමාන්යයෙන්ප්ප ආප්ප 15 – 18 අතර ප්‍රමාණයක් සාදාගන්න පුළුවන් , ප්‍රමාණය 300g පමණ) පොල් වතුර පීරිසි කෝප්ප 1 පමණ. (පොල්වතුර මම එකතු කරලා ශිතකරණ යේ තියාගන්නවා ආප්ප හදන්න අවශ්‍ය නිසා වැඩිපුර තිබුණම freezer එකේ දාලා තියාගන්න වා) අත්‍යවශ්‍යම නැහැ පොල්වතුර තියනවා නම් ගොඩක් හොඳයි. යීස්ට් තේ හැඳි එකයි, (තේ හැන්ද කියන්නේ පුංචි හැන්ද) මම යීස්ට් භාවිතා කලාට ඔබගේ කැමැත්ත පරිදි වෙනත් පිපුම් කාරක යොදා ගන්න පුළුවන්. සීනි මේස හැඳි 1-1 1/2 (කරි එහෙම බෙදන්න පාවිච්චි කරන තරමක් ලොකු හැන්ද) යීස්ට් ක්‍රියාකාරී වීමට සීනි උපකාරී වෙනවා. ඉතා උකු පොල් කිරි පීරිසි කෝප්ප දෙකක්, (පොල් මිරිකලා කිරි ගන්න නැත්නම් powder coconut milk දියකරලා ගන්න මම ගන්නේ power coconut milk) පොල් කිරි මිරිකද්දි වතුර වැඩි කරගන්න එපා, අපි මේ සහල් පිටි වලට නෙවෙයි පොල් කිරි දාන්නේ අර්ධ ඝන සහල් මිශ්‍රණයකට,දියර ගතිය වැඩි උනොත් ආප්ප සාදා ගනිද්දී ප්‍රශ්නයක් වෙනවා. (පසුව අවශ්‍ය උනොත් තවත් පොල් කිරි එකතු කර ගන්න පුළුවන්) ලුනු තමාගේ රස අනුව යොදාගන්න
පළමුව කල්වේලා ඇතුව සහල් පෙනෙන්න තබන්න. (සහල් වතුරේ පෙඟෙන කාලය වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ). සහල් බ්ලෙන්ඩ් කර මිශ්‍රණ ය සෑදීමට පෙර,
සහල් ටික පෙරන එකට දමා විනාඩි 20-30 පමණ වැඩිපුර වතුර ඉවත් වෙන්න තබන්න. යීස්ට් වලට මද උණුසුම් වතුර පීරිසි කෝප්ප කාලක් (1/4 ) පමණ දමා සක්‍රීය වෙන්න විනාඩි පහළොවක් විස්සක් තබන්න.එයටම සීනි ක් එකතු කරන්න එවිට යීස්ට් තරමක් පෙන ගතියට උඩට විත් සක්‍රීය වෙනවා වතුර මද රස්නය ඇතිව ගන්න, කුඩා දරුවෙකුට බොන්න දෙන ප්‍රමාණය උෂ්ණත්වය) ඉන්පසු වතුර බේරා ගත්ස සහල් බ්ලෙන්ඩරයට දමා එයට පොල් වතුර , උකු පොල් කිරි කෝප්ප 2, සක්රීීය කරගත් යීස්ට්, ද එකතුකර හොඳින් සහල් ඇට පිටි වනතුරු බ්ලෙන්ඩ් කරන්න.(පොල් වතුර නැත්නම් වතුර පිරිසි කෝප්ප දෙකක් යොදා ගන්න) මම මිශ්‍රනය බ්ලෙන්ඩ් කරද්දිම පොල්කිරි දානවා, මම ඉන්න රට සීත දේශගුණයක් සහිත රටක් නිසා. මට නම් ප්‍රශ්නයක් නැහැ නමුත් ලංකාවෙදි වගේ ඔයාලට හිතෙනවා නම් පොල් කිරි දාලා තිබිලා නරක් වෙයි කියලා. පළමුව බ්ලෙන්ඩ් කරද්දී පොල් වතුරෙන් සහ වතුර කුඩා ප්‍රමාණයක් යොදා බ්ලෙන්ඩ් කරන්න.ආප්ප සෑදීමට පැය දෙකකට පමණ කලින් පොල් කිරි යොදා නැවත මිශ්‍රණය වසා තබන්න.
දැන් මිශ්‍රණය දැමීමට තරමක් උස විශාල භාජනයක් ගන්න, ආප්ප මිශ්‍රණය පිපීමේදී උඩට එන නිසා ආප්ප මිශ්‍රණය දැමීමේදී භාජනයෙන් බාගයක් පිරෙන එකක් තෝරාගන්න. භාජනයේ ඉතුරු උස පිපීමට අවශ්‍ය නිසා, (දවසක් කුඩා භාජනයක් අරගෙන ආප්ප මිශ්‍රණය උතුරලා ගිහින් තිබුණා) ඉතාමත් සිහින් දැල් ඇති පෙරණය (Stainer ) කින් මිශ්‍රණය තෙවරක් පෙරාගන්න, ඉතුරුවන කැබලි කැමතිනම් අයින් කරන්න, නැත්නම් ඉතාමත් කුඩා ජලය ප්‍රමාණයක් යොදා නැවත බ්ලෙන්ඩ් කරන්න, නැවත පෙරණයෙන් පෙරා එකතු කරන්න. (තුන් සැරයක් පමණ පෙරා ගන්නට අවශ්‍ය යි, නැත්නම් විශාල කැබලි තිබුණොත් ආප්ප සෑදීමේදී වාටිය රොටියක් වගේ ඝණට හැදෙන්නේ ඒ නිසයි) දැන් භාජනයට දැමූ ආප්ප මිශ්‍රණය පියනකින් හෝ රෙදි කඩකින් වසා, ආප්ප සාදා ගන්නා තෙක් වසා තබන්න , පැය 6පමණ. ඒ අතරතුර පියන ඇර බලන්න එපා. සීතල පරිසරයක් නම් පිපෙන්නට ගතවන කාලය වැඩියි, ලංකාවේ වගේ නම් පැය 3-5 පමණ කාලයකදී හොඳින් පිපේවි. පැය 4කින් පමණ පසු අවශ්‍යතාව නම් පියන ඇර බලන්න.
මිශ්‍රණය හොඳින් පිපුණු විට ඉතා කුඩා වායු බුබුළු සෑදී තරමක් පෙන වගේ තියෙන්න ඕන. සීතල පරිසරයක නම් අවන් එක , මයික්‍රෝවේව් එක ඇතුලේ වගේ නිවසේ උණුසුම රැදෙන ස්ථානයක තබන්න. විදුලි බලයට සම්බන්ධ කර ක්‍රියාත්මක කරන්න එපා. ආප්ප සෑදීමට කිට්ටුව ලුනු යොදාගන්න. ආප්ප මිශ්‍රණය. පෑන් කේක් සාදන මිශණයට ලගින් යන ප්‍රමාණය ට සාදා ගන්න. (පළමුවෙන්ම පුරුදු වෙන්න හදන අය මිශ්‍රනේ ඝණකම වැඩි නම්, මිශ්‍රණය වෙනම භාජනයකට හැදි කිහිපයක් අරගෙන තවත් පොල්කිරි ටිකක් දමා දියාරු කර ගන්න, එවිට දියර ගතිය වැඩිවුනත් සම්පූර්ණ මිශ්‍රණයම වෙනස් වෙන්නේ නැහැ වැරදුනත්, පළමු කොටසෙන් තවත් දමා බැලන්ස් කරගන්න පුලුවන්)
මම ආප්ප හදන්නේ non stick තාච්චියක, ඔයාලගේ තාච්චිය ගැලවෙන්නෙ නැත්නම් බිත්තර කහමදය ආප්ප තාච්චිය පුරාවට ගාලා ටික වෙලාවක් රත් කරන්න. පසුව පිසදා ඉවත් කරන්න. ආප්ප මිශ්‍රණයට බිත්තරයක් ගසාදාන්න පුළුවන් මම නම් ඒ රසට ආස නැහැ ඒ වගේම ආප්ප ඉක්මනින් මැලවෙනවා එනිසා මම නම් දාන්නේ නැහැ.
ආප්ප තාච්චිය ගෙන රෙදි කැබැල්ලක තෙල් ටිකක් තවරා ආප්ප තාච්චියෙ ගාන්න. ගින්දර මධ්‍යම ප්‍රමාණයට තබාගන්න, පළමුව ආප්පය සාදා ගැනීමේදී විනාඩියක් පමණ තාච්චිය රත් කරන්න, ඉන්පසු ආප්ප මිශ්‍රණය පොල් කටු හැන්දක් වගේ තරමක් විශාල හැන්දකින් තාච්චියට දමා කරකවන්න, එවිට චුරු චුරු ශබ්දයක් එනවා.
තෙල් ගාද්දී තාච්චියේ ඉතුරු වෙන විදියට තෙල් ගන්න එපා යාන්තමට තෙල් ගාන්න.තෙල් වැඩිවෙලා ආප්ප තාච්චිය රත් වුණා වැඩි වුණාම පිටි මිශ්‍රණය දැම්මම වටේ කරකවද්දි ඇකිලිලා පහළට වැටෙනවා. අළුත් නොන්ස්ටික් තාච්චි වල තෙල් ගාන්න එපා, මගේ තාච්චි දෙකෙන් පරණ nonstick එකක තරමක් ඇලෙන සුළු බවක් දැනෙන නිසා මම යාන්තමට තෙල් ගාලා හොඳින් පිහිදනවා
පියන වසා විනාඩි 1 1/2 පමණ ගියාට පස්සෙ ඇර බලන්න. දාලා ඉක්මනින්ම අරින්න එපා ආප්ප ඇකිලෙනවා තවත් තමාට අවශ්‍ය පමණට ආප්ප ය දුඹූරු පැහැ වන තෙක් තබා ගන්න. ඉන්පසු butter knife එකක් වගේ එකක් ආධාරයෙන් , ආප්ප යේ වටේ බුරුල් කර පිටතට ගන්න. Nonstic තාච්චියේ නම් නිකම්ම වගේ ගැලවෙනවා.
(පළමු සැරය ආප්ප හැදුවට පස්සේ තාච්චිය රත් වෙලා තියෙන්නේ, ඊලඟ සැරේ තෙල්ගාලා තප්පර 30-40 පමණ තබා මිශ්‍රණය දමන්න. තාච්චිය ගොඩක් රත් උනොත් ආප්පය වටේට දාරය හොඳට කරවෙලා එන්නේ නැහැ , වටේටම හිල් සහිත ආප්පයක් තමයි එන්නේ) මේ කාලෙ කිව්වෙ දළ වශයෙන් ඔයාලගේ ගින්දර පාලනය අනුව තමයි කාලය අඩු වැඩි වෙන්නේ අදහසක් ගන්න තමයි එහෙම කිව්වේ
ආප්ප හදද්දී , ආප්ප මිශ්‍රණය හැන්දෙන් යට සිට ම හොඳින් කලවම් කරමින් ගන්න. නිතරම පිටි යටට වෙලා තියෙන්නේ. බිත්තර ආප්ප සාදද්දී සාමාන්‍ය ආප්ප එකට දාන ආප්ප පිටි ප්‍රමාණයට වඩා අඩුවෙන් දාන්න මොකද මැද ඉතාමත් අඩුවෙන් පැතලියට තියෙන්න ඕන නැත්නම් බිත්තරය හොදින් තැම්බෙන්නේ නෑ.
පැණි ආප්ප
ආප්ප මිශ්‍රණය ගොඩක් දියාරු කරන්න කලින් කොටසක් වෙන් කරගන්න, එයට හොඳින් දියකර ගත් හකුරු හෝ පැණි යොදන්න, ගොඩක් මත් ඝනකමට ගන්න එපා, පැණි දැම්මම සාමාන්‍ය ආප්ප හදන දියර ප්‍රමාණයට සමාන වෙන්න ගන්න. දැන් සාමාන්‍ය ආප්පයක් හදනවා වගේ මැද වැඩිපුර එන්න නැති වෙන්න ආප්ප තාච්චියට මිශ්‍රණය දමා, කරකවන්න සාමාන්‍ය ආප්පයක් හදන විදිහට කාලය අරගෙන හදන්න. ඉන්පසු එක පැත්තක් බුරුල් කරල අනිත් පැත්තට දෙකට මැදින් නවලා තබන්න.
නැත්නම් මෙහෙමත් හදාගන්න පුළුවන්
ආප්ප මිශ්‍රණය තාච්චිය මැදට දාලා මැද විතරක් හදාගන්න, වටේ කරකවන්න එපා, එතකොට ආප්ප වටේ නැතුව මැද පමනක් හැදෙන ටිකක් ඝන පැණි ආප්ප හදාගන්න පුළුවන්. ඔන්න කියන්න තියන සියලුම කාරණා කිව්වා. ආප්ප කන්න කැමති ඒත් සදා ගැනීමට අපහසුවෙන් සිටිය අයට මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්.