පැපොල් එහෙමත් නැතිනම් ගස්ලබු කියන්නේ ලංකාවේ ඕනෑම ප්‍රදේශයකදී දකින්නට ලැබෙන පළතුරක්. නිතර දකින්න ලැබෙනවා වගේ තමයි ඕනෑම දේශගුණික තත්වයකදී වුවද පහසුවෙන් විය හැකි ශාකයක්. කෙටියෙන්ම කිවුවොත් ජලය, පොහොර නොදැමිමත් සාරවත් පසක් තිබෙනවා නම් ගස්ලබු ඇට ටිකක් වැටුනොත් ඉබේම පැල වෙලා ඵලදාවක් ලබා ගන්න පුළුවන්.
පෝෂණ ගුණයෙන් ඉහළ පළතුරක් වූ මෙම ගස්ලබු රුපලාවන්යයේදීත් වැඩි වශයෙන් භාවිතා කරන පළතුරක්. ඒවගේම තමයි ගස්ලබු කියන්නේ පළතුරක් වගේම එළවළුවක් වශයෙන් ද ආහාර වේලට එකතු කරගත් හැකි දෙයකි. ඒ නිසා අපි මෙවර කතා කරන්නේ ගස්ලබු වලින් සකස් කරගත් හැකි ආහාර වර්ගයි. මෙහිදී පලතුරු සලාදයක්, පලතුරු බිමක් ලෙසින් පමණක් මෙතෙක් රස විඳි ගස්ලබු වලින් රසම රස විවිධ කෑම රැසක් රස විඳින්න ලැබෙනවා පමණක් නොව මෙහි සඳහන් ඇතැම් ආහාර වර්ග නිෂ්පාදනය කර වෙළඳපොළට ඉදිරිපත් කිරීමෙන් කදිම ආදායමක් ද උපයා ගත හැකියි.
ගස්ලබු ටොෆි
පුංචි දරුවන් පැණිරස කෑම කන්න කැමතියිනේ. පුංචි දරුවෝ විතරක් නෙමෙයි වැඩිහිටි උදවියත් පණිරසට හරිම කැමතියි. ඉතින් අපි බලමු කොහොමද ගස්ලබු ටොෆි සාදන්නේ කියලා
මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් පැසුණු ලොකු ගස්ලබු ගෙඩියක්, සීනි 500g, රට කජු 50g, වැනිලා ස්වල්පයක්, එනසාල් කුඩු තේ හැඳි 01
මෙන්න සාදන ක්‍රමය
ගස්ලබු ගෙඩිය හොඳින් සෝදා දෙකට පලන්න. ඇට ටික ඉවත් කරගන්න. නැවතත් සෝදන්න. ඊටපසු පිරිසිදු භාජනයකට හීනියට ගා ගන්න. මෙය ඔබට හිරමනයෙන් ගා ගැනීමට හැකියාව ඇත. අනතුරුව ගා ගත ගස්ලබු ටික කිරා බලන්න. 500g පමණ ගන්න. දැන් බඳුනකට සිනි ටික දමා වතුර අඬු කෝප්ප 1/4ක් පමණ ලිප තබා හොඳින් රත් වූ පසු ඉහත ගාගත් ගස්ලබු ටික ද දමා හැඳි ගාන්න. පැය භාගයක් පමණ ( මඳ ගින්නේ ) හැඳි ගාන විට පදම එන විට අතට බර ගතිය දැනේ. වතුර ගතිය නැති වී ගුලියක් මෙන් එකතු වන විට කුඩාවට තළාගත් රටකජු, සුවඳ කුඩු, වැනිලා දමා තෙල් තැවරු ලෑල්ලක තුනීකර කෑලි කපා ගන්න. මෙය පුහුල් දෝසි වගෙය. ඉතාම රසවත් වියළි බඳුනකට අසුරා තබා ගත්තොත් අතියක් දෙකක් පමණ පාවිච්චි කල හැකියි.
ගස්ලබු ව්‍යංජනය
ගොඩක් අය ගස්ලබු ව්‍යංජනය, ගස්ලබු උයලා කන්න ආසයි. ඒත් හරියටම දන්නේ නෑ කොහොමද රසට මේ ගස්ලබු ව්‍යංජනය හදාගන්නේ කියලා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ගස්ලබු ව්‍යංජනය සාදන්නේ කියලා..
මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය
අමු ගස්ලබු ගෙඩියක්, රම්පේ, කරපිංචා, අමු මිරිස් කරල් 3 – 4, සුදුළුනු ස්වල්පයක්, රතුළුණු ස්වල්පයක්, මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, අබ ස්වල්පයක්, පොල් කිරි කෝප්පයක්
මෙන්න සාදා ගන්නා ආකාරය
රත් වූ මැටි වළඳට තෙල් ස්වල්පයක් දමන්න. එයට අබ ස්වල්පයක් එකතු කරන්න. ඉන්පසුව එයට රම්පෙ, කරපිංචා, තලා ගත් සුදුළුනු ලියාගත් රතුළුණු එකතු කර රන්වන් පාට වෙනතුරු බැදගන්න. ඉන් පසු එයට කපා ගත අමු මිරිස්, මිරිස්, කහ, තුනපහ, කුරුඳු පොත්තක් දියකිරි කෝප්පයක් දමා මඳ ගින්නේ පිසගන්න.ගස්ලබු හොඳින් තම්බුන පසු මිටිකිරි දමා උතුරවා ගන්න.